හාරිස්පත්තුවේ මොහොමඩ් ආසික්
සැමියාගේ ලෝබකම හින්දා බිරියට සිය හොඳම මිතුරියගේ දියණියගේ විවාහ උත්සවයට සහභාගිවීමට නොහැකිවීමේ අපූරු සිද්ධියක් ලංකාදීපයට වාර්තා විය.
ඔහු කන්ද උඩරට ප්‍රදේශයේ ගම්මානයක පදිංචි මැදිවියේ පසුවන මධ්‍යම පාන්තික ව්‍යාපාරිකයෙකි. ඔහුගේ බිරියද අසල ගම් පළාතක පදිංචි වැදගත් පවුලක කාන්තාවකි.
සැමියාට මුදල් හදල් යහමින් තිබුණද ඔහුගේ උපන් ලෝබකම නිසා ඇය එම මුදල් වියදම් කරන්නේ අරපරිස්සමෙනි.
අරපරිස්සමින් කිව්වත් අත්‍යාවශ්‍ය දේකට පවා ඔහු මුදල් වියදම් කරන්නේ බාගෙටය. ඒ මුදල් ඉවර වෙතැයි ඇති බිය නිසාය. දරුවන් දෙදෙනකුද සිටින මෙම පවුලේ දරුවන්ද සිය පියාගෙන් අධ්‍යාපන කටයුතු සඳහාද මුදල් ඉල්ලාගන්නේ ගලකින් පට්ටයක් ගන්නා මෙනි.
මේ අතර පසුගිය දිනෙක බිරියගේ හොඳම මිතුරියගේ දියණියගේ විවාහ උත්සවයට පවුලේ සියලු දෙනාට ආරාධනා කර තිබුණේය. මෙම විවාහ උත්සවය පැවැත්වෙන්නේ නගරයේ ප්‍රධාන හෝටලයකය. ඒ සඳහා එසේ මෙසේ යා නොහැකිය. එක පැත්තකින් තෑග්ග සඳහා විශාල මුදලක් වැය කළ යුතුය.
ඊටත් වඩා බිරිඳගේ ඇඳුම් සඳහාද වැයකළ යුතුය. තමාට නම් තියෙන එකක් හැඳගෙන යා හැකිය. බිරිඳටත් එසේ ඇඳගෙන යන ලෙස ඔහු උපදෙස් දුන්නේය. තම සැමියාගේ හැටි දන්නා බිරිඳ තමන් සතුව ඇති සියලු සාරි ඇඳුම් අවුස්සා තරමක් හෝ ගමනට සුදුසු ඇඳුමක් තෝරාගත්තාය. විවාහ උත්සවයට තව දින කිහිපයක් තිබෙන නිසා ඇය සියල්ල සුදානම් කර තැබුවාය.
විවාහ උත්සවය දිනයේ උදේ ගමනට සූදානම් වනවිට බිරියට සිය පාවහන් මතක් විය. සිය පාවහන් යුගල මෙවැනි උත්සවයකට යාමට සුදුසු නොවන නිසා ඇඳුම් මෙන් නොව කෙසේ හෝ පෙරෙප්පු ජෝඩුවක් මිලදී ගෙන එන ලෙස සැමියාට කිවේ අවශ්‍ය මිම්මද ලබාදෙමිනි. සැමියා නිවෙසේ ඇඹරී ඇඹරී එහේ මෙහේ කැරකී කැරකි සිටියත් විකල්පයක් නොවීය.
ඒ නිසාම බිරියට සෙරෙප්පු ජෝඩුවක් මිලඳි ගැනීම සඳහා නගරයට ගියේය. නගරයට ගිය ඔහු එක් වරම වෙළෙඳ සලකට ගොඩ නොවී කීයක් හෝ අඩුවෙන් මෙම සෙරෙප්පු ජෝඩුව මිලදී ගැනීමට උත්සාහ කළේය.
නගරයේ සෑහෙන වෙලාවක් ඇවිදීමෙන් පසුව වෙළෙඳ සලකට ගොඩ වී සෙරෙප්පු ජෝඩුවක මිල ඇසුවේය. එය අසා ඔහුට හීන් දාඩිය දැම්මේය. වචනයක්වත් කතා නොකර වෙළඳ සලෙන් එළියට පැනගත් ඔහු පදික වේදකාව දිගේ ගමන් කරද්දී පාර දිගේ විවිධ භාණ්ඩ විකිණිමට තබා තිබෙනු ඔහු දුටුවේය. ඒඅතර විවිධ වර්ගයේ සෙරෙප්පුද විය.
එහි මිලද ඉතා අඩුවෙන් සටහන්ව තිබුණි. ඒ ගැන විමසා බැලූ ඔහු මේක හොඳයිනෙ කියා එම සෙරෙප්පු ජෝඩුව මිල දී ගෙන හනිකට නිවෙසට පැමිණියේය. සියලු ඇඳුම් ඇඳගෙන සැමියා සෙරෙප්පු ජෝඩුව ගෙනඑනතුරු මඟ බලා සිටි බිරිය නිවෙසේ කඩුල්ල ළඟටම පැමිණ සැමියාගෙන් සෙරෙප්පුව ඉල්ලා ගත්තාය. නිවෙස තුළට ගෙන ගොස් එය සිය පාදවලට දමා බැලුවාය. එවිට ඇයට දෙවියන් සිහි විය. සැමියා මිල දී ගෙන ඇවිත් ඇත්තේ පාවිච්චියෙන් ඉවත්කළ සෙරෙප්පු ජෝඩුවකි. එය තරමක් පාට ගා තිබුණු අතර දෙක දෙවිදියකි. පයට කෙසේවත් පැළඳිය නොහැකිය. දැන් වේලාවත් ගත වී තිබේ. නැවත නගරයට ගොස් පැමිණ මගුල් උත්සවයට යාමට ද වේලාවක් නැත. බිරිඳ පුප්ප පුප්පා සිය සැමියාට දෙස් තියන්නට වූවාය.
ලෝබකම හින්දා මට මගේ හොඳම යාළුවගේ දුවගේ මඟුල් ගෙදරවත් යන්න බැරි වුණානේ කියමින් ඇය ඇඳුම් මාරු කර ගත්තේ විවාහ උත්සවයට යාමේ අදහස අත් හැර ගනිමිනි.