සැමියාගේ උපන්දින සුබ පැතුමට බිරියට යක්ෂයා ආරූඪවෙලා


සිය උපන් දිනයට තමන්ට සුබ නොපතා කාර්යාලයේ යුවතියකගේ උපන් දිනයට සැමියා කෙටි පණිවිඩයක් මඟින් සුබ පැතීම පිළිබඳව උරණ වූ තරුණ දෙදරු මවක සැමියා ගෙවත්තේ වගා කර තිබූ කෙසෙල් ගස් කීපයක් කපා දමා විරෝධය පළ කිරීමේ සිද්ධියක් හසලකට නුදුරු ගම්මානයකින් වාර්තා විය.


ඔහු පෞද්ගලික ආයතනයක රැකියාව කරන තිස් එක් හැවිරිදි වියේ පසුවන්නෙකි. රැකියාවට අමතරව ඉඩ ලද සෑම විටම ගෙවත්තේ කිසියම් වගාවක් කිරීම මොහුගේ සාමාන්‍ය සිරිතකි. එම වගාවෙන්ද ලැබෙනු යම් තරමක ආදායමද ඔවුන්ගේ ආර්ථිකයට එක්වේ.


 ඒ බිරියගේ උපන් දිනයයි. එහෙත් එය ඔහුගේ මතකයේ නොතිබිණි. එදිනම ඔහුගේ කාර්යාලයේ කාන්තාවකගේද උපන්දිනය යෙදී ඇති බව මුහුණු පොත පරිශීලනය කිරීමේදී දැක ගැනීමට හැකිවිය. ඒ නිසා මුහුණු පොත හරහාම ඇයට සුබ පැතුම් එක් කිරීමට ඔහු අමතක නොකළේය.


මෙදින නිවාඩු දිනයක් හෙයින් සේවයට නොගොස් ඔහු ගෙවත්තේ වැඩ කටයුතුවල නිරත විය. එම කටයුතු නිමාවී නිවෙසට පැමිණ බිරිය හා දරුවන් සමග සතුටු සාමීචියේ යෙදී සිටින විට ඇය ඔහුගේ ජංගම දුරකතනය ගෙන මුහුණු පොතට පිවිසියේය. මුහුණු පොතේ සුබ පැතුමක් දුටු ඇයට උන්හිටිතැන් අමතක විය.


ක්ෂණයකින් යක්ෂාරූඪ වූවා සේ අත තිබූ සැමියාගේ ජංගම දුරකතනය පොළොවේ ගසා සැමියාට දොස් කියමින් හඬා  වැළපෙන්නටත් පටන් ගත්තාය. ඒ අදට යෙදී තිබුණු තමන්ගේ  උපන්දිනයට සුබ පැතුමක්වත් තෑග්ගක්වත් ලබා නොදී කාර්යාලයේ කාන්තාවකට මුහුණු පොත හරහා සුබ පැතීම ගැන උරණ වෙමිනි.


 ඒ සමඟම නැගී සිටි ඇය වහා මුළුතැන්ගෙට දුව ගොස් පිහියක් රැගෙන ගෙවත්තට ගොස් සැමියා වගා කර තිබූ  පැසුණු කෙසෙල් කැන් ඇති කෙසෙල් ගස් කීපයක් කපා බිම හෙළා දැමීමට පටන් ගත්තේ මහත්සේ හඬා වැළපෙමිනි.


ඇයගේ  හැඬීමත් වත්තේ පවතින තත්ත්වයත් දැක වහා එම ස්ථානයට දිව ගිය ඇයගේ පියා ඇය අත තිබූ පිහිය උදුරාගෙන ඇය පෙසකට කැඳවාගෙන ගොස් කරුණු විමසුවේය. එහිදී ඇය පියාට පැවැසුවේ අදට යෙදී තිබෙන තමන්ගේ උපන්දිනයට සුබ නොපතා කන්තෝරුවේ කාන්තාවකට සුබ පැතීම නිසා තමන්ට මෙසේ කේන්ති ගිය බවත් දුක හා කේන්තිය තුනී කර ගැනීමට මෙසේ ක්‍රියා කළ බවත්ය.


පියාගේ මැදිහත්වීමෙන් සිද්ධිය සමථයකට පත් වුවත් දින කීපයක් යන තුරු ඔවුන් දෙදෙනා අතර කතා බහක් නම් නොවිණි.