සැමියාගේ ඇඳුම්යැයි සිතා අසල්වැසියාගේ රෙදි ටික අපුල්ලලා


දකුණු පළාතේ කඳුකරයට ආසන්නව පිහිටි ප්‍රසිද්ධ දිය පීල්ලකි. පසුගියදා මෙහි දිය නෑමට ආ කාන්තාවක් ඒ අසල බාල්දියේ වූ සිය සැමියාගේ රෙදි සෝදමින් සිටි අතර එතැනට කලබලයෙන් පැමිණි අසල්වැසියකුට ඇය කීවේ “අපේ මනුස්සයා නාන්න ඇවිත් කවදාවත් නැතුව අද රෙදිටික මට හෝදන්න බාල්දියේ දාලා ගිහින්. රෙදි හොඳටම කිළුටු වෙලා” යනුවෙනි.

ඇය සෝදන රෙදි දෙස බලා සිටි අසල්වැසියා මවිත වූයේ මොහොතකට පෙර තමා බාල්දියට දමා ගිය රෙදි ඇය සෝදන බවක් පෙනුණු හෙයිනි. “මම එන කොට ඒ මනුස්සයා නාලා සුදු රෙදි ටිකත් හෝදගෙන ගියා. මම බාල්දිය ඉල්ලගෙන ඔය සුදු රෙදිටික ඕකට දාලා මළගෙදර පැත්තෙ ගිහින් ආවේ. නාගන්න. ඔය මගේ රෙදි. අඳින්න ගෙනාපු සරමත් වතුරේ දාලා” ඔහු කීමෙන් ඇයට දෙවියන් සිහිවිය. රෙදි ටික යළි බාල්දියට දැමූ ඇය “අනේ, අයියෙ මේක කාටවත් කියන්න එපා” කීවත් පහුවදාම ගමපුරා ගිය ආරංචිය දැන් පත්තරේටත් ගිහින්ලු.

(තිහගොඩ - උපසේන ලියනගම)