මොරගොල්ලාගම - සිසිර කැලේගම
සැමියාගේ ආදරය කෙසේ දැයි පරීක්ෂා කිරීමට ගිය බිරියකගේ මුදලට තට්ටු වූ පුවතක් යාපහු පුරවරයෙන් අසන්නට ලැබුණි.
පෙම් සබඳතාවකින් විවාහ වූ යුවළකි. ඔවුන්ට අධ්‍යාපනය නිම වූ දුවෙක් හා පුතෙක් සිටිති. දරුවන් ද රැකියාවල නියැළී සිටින නිසා යුවළ පමණක් නිවසේ රැඳී සිටිති. වියපත් වුවත් දෙදෙනා ඉතා ලෙන්ගතුව වාසය කරති.
දිනක් සැමියා නිවෙසින් බැහැරව යාබද ගෙදරකට ගියේය. එසේ යන්නේ ඇයි ද කියා බිරිය දැන නොසිටියාය. රාත්‍රිය උදා වුණත් සැමියා පැමිණියේ නැත. සැමියාගේ දුරකතනය ද විසන්ධි වී තිබේ.
එහෙත් ඔහු නැවතී සිටින නිවෙස් හිමියාගේ දුරකතන අංකය ඇය සතුව තිබුණාය. ඇය එන්නට පමා වූ සැමියා ගෙන්වා ගැනීමට උපක්‍රමයක් යෙදුවාය.
“අනේ මල්ලී මං කුස්සියේ දී ක්ලාන්තයක් හැදිලා වැටුණා. හුස්ම ගන්න ටිකක් අමාරුයි. මට ඉස්පිරිතාලෙ යන්න ඕනෑ.”
ඒ වනවිට සැමියා ඇතුළු පිරිස මත්පැන් තොළ ගාමින් සිටියහ. සිද්ධිය දැනගත් ඔවුහු මත් වතුර හා බයිට් වර්ග එතැනම දමා එම නිවෙසට දිව ගියහ. එය ඇසූ එම නිවැසියෝ හා අවට වැසියෝ ද ඔහු පසුපස දුවන්නට වූහ.
කලබලයෙන් නිවසට ගිය අයට බිරියගේ බොරුව දැක ගැනීමට හැකි විය. පසුව පැමිණි පිරිස එතැනින් ආපසු මත් තොළ ගෑමට ගියත් එහි සිටි බල්ලන් අරක්කු බෝතල් පෙරළා දමා බයිට් වර්ග සියල්ලත් කා දමා තිබුණි.
අවසානයේ රැස්ව සිටි පිරිස් එහි සිටි තැනැත්තාට තම බිරිය කළ විහිළුව නිසා සිදු වූ හානිය ගැන කියමින් දොස් නගන්නට විය.
ඉන් ලැජ්ජාවට පත් සැමියා බිරිය සොයා ගොස් ඇය සමඟ අඬදබර වී මුදල් ඉල්ලාගෙන නික්ම ගොස් මැදියම් රැයේ තැබෑරුමත් වසා තිබූ නිසා වැඩි මුදලට අරක්කු බෝතල් හා බයිට් වර්ග සොයා ගෙනැවිත් දුන්නේය.