(උණවටුන – ඩී.ජී. සුගතපාල)
මුදල් කොල්ලකෑමක් සම්බන්ධයෙන් පැමිණිලි කිරීමට පැමිණි පුද්ගලයකුට කොල්ලකාරයන් දෙදෙනා පොලිසිය තුළදීම හමුවී මුදල් ආපසු ලබාදීමේ අපුරු සිද්ධියක් ගාල්ල පොලිසියේදී දැකගත හැකිවිය.
ගාල්ල තලාපිටිය ප්‍රදේශයේ පදිංචි ව්‍යාපාරිකයකුගේ සේවකයකු වෙළෙඳ සලට ගොස් එමින් සිටියදී ඔහුගේ සාක්කුවේ තිබූ රුපියල් 4300ක මුදලක් තරුණයන් දෙදෙනකු විසින් කොල්ලකා පසුව සේවකයා තම හාම්පුතාද සමග සිද්ධිය පැමිණිලි කිරීමට පොලිසියට පැමිණියේය.
පොලිසියට පැමිණි අවස්ථාවේ විලංගු දමා සිටි තරුණයන් දෙදෙනකු දැක ගැනීමට ඔහුට හැකි වූ අතර විලංගු දමාසිටි දෙදෙනා ඇඹරෙන්නට වූහ. අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක දිනේශ් නිශාන්ත මහතා පැමිණිලිකරුට කොල්ලකරුවන් දෙදෙනා පෙන්වූවිට තමාගේ මුදල් කොල්ලකන ලද්දේ මෙම දෙදෙනා බවට හඳුනා ගත්තේය.
පැමිණිලිකරු කියා සිටියේ තමාගේ සාක්කුවේ තිබූ රුපියල් 4100ක් කොල්ලකරුවන් උදුරාගත් බවය. එහෙත් කොල්ලකරුවන් දෙදෙනා කියා සිටියේ එහි රුපියල් 4350ක් තිබු බවය. අවංක කොල්ලකරුවන් දෙදෙනකු බව එහි සිටි අයෙක් කීවේය. මෙහි වඩාත් පුදුමය නම් මේ කොල්ලකරුවන් දෙදෙනා පෙට්ටිගලවත්ත ප්‍රදේශයේ පදිංචි එකම පවුලේ 21 හැවිරිදි සහ 18 හැවිරිදි සහෝදරයන් දෙදෙනකුවීමය.
ඔවුන් පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන තිබුණේ පාසල් සිසුවකුගේ රුපියල් 8000ක් පමණ වටිනා ජංගම දුරකතනයක් කොල්ලකෑම් සම්බන්ධයෙනි. මේ අතර ටික වේලාවක් යනවිට කොල්ලකරුවන්ගේ පවුලේ ඥාතීන් පැමිණ කොල්ල කන ලද මුදල් ලබාදීමට එකඟවීම නිසා පැමිණිලිකරුද එයට එකඟ විය.
ඒ අනුව මුදල් කොල්ලකෑමේ පැමිණිල්ල මුදල් ලබාදී සමථයට පත් වුවද ජංගම දුරකතනය කොල්ලකෑමේ පැමිණිල්ල සම්බන්ධයෙන් සැකකරුවන් දෙදෙනා අධිකරණයට ඉදිරිපත් කළ අවස්ථාවේ හඳුනා ගැනීමේ පෙරෙට්ටුවක් සඳහා 19වැනිදා දක්වා රිමාන්ඩ් බන්ධනාගාර ගත කිරීමට ගාල්ල ප්‍රධාන මහේස්ත්‍රාත් හර්ෂණ කැකුණවෙල මහතා නියෝග කළේය.
ගාල්ල පොලිසියේ අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක දිනේශ් නිශාන්ත උප පොලිස් පරික්ෂකවරුන්වන උමයංගන, සංජිව යන මහත්වරුන් සැකකාර සහෝදරයන් දෙදෙනා අත්අඩංගුවට ගෙන ඇති අතර උප පොලිස් පරික්ෂක මහිලාල් මහතා සැකකරුවන් අධිකරණයට ඉදිරිපත් කිරීමට පියවර ගත්තේය.