සරම බසයේ තියා මගියා බැස ගිහින්


තිහගොඩ උපසේන ලියනගම
අබලන් බසයක නැගී ගමන් ගත් මගියකු ගමනාන්තයේ දී ඇඳ සිටි සරම බසයේ දමා අඩ නිරුවතින් බසයෙන් බැස යාමේ අපූරු පුවතක් දකුණු පළාතේ උප නගරයකින් අසන්නට ලැබිණි.


ග්‍රාමීය උප නගරයක සිට මාතර බලා දිවෙන පෞද්ගලික තරමක් අබලන් බස් රථයකි. ගමන් ගන්නා විට එතරම් අබලන් බවක් නොපෙනුණත් එය නවත්වන විට මගී ආසන මෙන්ම දොර කවුළුවලින්ද නැගුණේ අමිහිරි හඬකි.


නගරාසන්න බස් නැවතුමක දී සරම සහ කමීසය ඇඳි මගියකු ගමන් මලු කීපයක් අතින් සහ උරයෙන් දරාගෙන බැසීමට විත් පඩි පෙළෙන් බසින විට එහි මතුව තිබූ ඇලුමිනියම් පටියක සරම ඇමිණී වේගය නිසා කරකැවී ගියේය. අසල වූ ආධාරක බටයක් අල්ලාගෙන නොවැටී බේරුණත් ඒ වේගයටම ඔහු බිමට පය ගසාගත් අතර සරම ඇලුමිනියම් පටියේම එතිණ. රියැදුරු වහාම තිරිංග තද කර බසය නවතා ගත්තත් මගියා අඩ නිරුවතින් බිමය. සරම බසයේය.


බසයේ සිටි කීප දෙනකු තිගැස්සී සිටි අතර කාන්තාවන් සිනාව තද කර ගත්තේ අතින් කට වසාගෙනය.