සම්මාදම් වනවා යයි කීවද ඊට කිසිම සම්මාදමක් නොදමා මුදල් පසුම්බියට අමතර මුදලකුත් දමාගෙන කන පැලෙන්න බොන අපූරු අප්පුහාමි කෙනකු පිළිබද කතාවක් දකුණු පළාතේ නගරයකින් අසන්නට ලැබේ.
මත්පැන් ඔහුට අමෘතය මෙනි. නොබිවූදාට මුහුණ මළ ගෙයක් වැනිය. බිවූ දාට මුහුණ මඟුල් ගෙයක් බඳුය. මත්පැනුත් ඔහුත් අතර තිබූ සම්බන්ධය දැඩිය. එය ගසත් පොත්තත් පොත්තත් ගසත් අතර සම්බන්ධයට එහා ගිය එකකි.
මේ නිසාම දෝ මිතුරන් ටිකක් හමුවුණු ගමන්ම බීමේ යෝජනාව පළමුවෙන්ම දමන්නේ ඔහුය. ඒ විතරක්ම නොවේ මුදල් පසුම්බියෙන් පළමු මොනරා අදින්නේත් ඔහුමය. මිතුරන්ගේ පසුම්බිවලින් වඩින මොනර ගහනයෙන් ඔහුගේ අත පිරීයන්නේ ඊට සමගාමීව හිත ද පිරීයාමෙනි.
සම්මාදමෙන් ලැබුණු මොනරුන්ගෙන් මත්පැන් ගෙන ඒමට යන්නේද ඔහුය. ඒ යන අතරමග තමාගේ සාක්කුවෙන් සම්මාදම් ලෙස වැඩමෙව් මොනරා යළිත් සාක්කුවේම කූඩු කරන ඔහු බීමට අවැසි කටගැස්ම ගෙන ඒමට යන්නේත් ඔහුමය.
එතනින් ඉතුරු වන මොනරුන්, සමනළයන්, ඇතුළු අනෙක් පක්ෂීන් ඔහුගේ සාක්කුවේ කූඩු කරන්නේ කාටත් නොපෙනෙන සේ ය.
මෙසේ තඹ සතයකුදු තමන්ගෙන් වියදම් නොකොට කන පැලෙන්න කාබී මුදල් පසුම්බියට ද ගානක් දමාගෙන නිවසට ඔහු යන්නේ ‘දෙන දෙවියෝ ගෙට ගෙනවිත් දෙනවා’ යයි ගීයක කොටසක් ද ගයමිනි.
කරන්දෙණිය එම්. සුසිල් ප්‍රියන්ත