සබන් දවටනයට පන්දහසේ නෝට්ටුවක්


(තිහගොඩ - උපසේන ලියනගම)
අගනුවර ප්‍රධාන පෙළේ වාණිජ ආයතනයක සේවය කළ ඔහු සිව් දරු පියෙකි. සති අන්තයේ නිවෙසට එන ඔහු එදා ගෙදර එන විට පැවැතියේ මහත් කලබලයකි. ඒ නිවෙසේ වියපත් මවගේ හැඹිලියේ තිබූ රුපියල් පන්දහසේ මුදල් නෝට්ටුවක් නැති වීම නිසා වූ ආරවුලකි.


ඔහු ගෙට පා තබන විටම මව මහත් ශෝකයෙන් කියා සිටියේ තමාට ලැබුණු සුළු සුළු මුදල් එකතු කොට මේ පන්දහසේ නෝට්ටුව හදාගත් බවත් මෙය සොරකම් කිරීමට පිටස්තර කිසිවකුට ඉඩක් නැති බවත්ය.


“ඕවා ගන්න මේ ගෙදර කවුද ඉන්නේ. අම්මා කොහේ හරි අමතක වෙලා දාන්න ඇති.” පුතා කීවත් මව එය විශ්වාස කළේ නැත.
“මම අද නාන්න ගිය වෙලාවේත් ඒක හැඹිලියේ තිබුණා.” ඇය කීවාය.


මේ ගැන කොතෙක් කීවත් ඇය විශ්වාස නොකළ නිසා පුතා “හරිම මහන්සියි. මට නාගන්න ඕනෑ” කියා තුවාය කරට දමාගෙන බාල්දිය රැගෙන ජනෙල් කවුළුව මත තිබූ සබන් කැටය අතට ගත් ඔහුට තරු පෙනිණ.  එම තෙත සබන් කැටය ඔතා තිබුණේ රුපියල් පන්දහසේ නෝට්ටුවකිනි. සිය මව දිය නාගත් පසුව ඇගෙන්ම බිම වැටී තිබූ පන්දහසේ නෝට්ටුව කඩදාසියකැයි සිතා සබන් කැටය ඔතාගෙන ආ බව පැහැදිලි විය.