(වියලුව වාර්තාකරු)
තම මංගල දිනයේ දී හැඩ වැඩවීම සඳහා මනාළ මහතකුට පාසල් නිල ඇඳුමක් දුන් සන්නාලියකු පිළිබඳ පුවතකි මේ.
සිද්දියෙන් අපහසුතාවට පත් මනමාල මහතා විසින්ම පැවසූ අන්දමට සිද්ධිය මෙසේය. ඔහු ආරක්ෂක සේවයක නිරත තරුණයෙකි. සිය මංගල දිනයට දින නියම කර ගත්තද නිවාඩු ලබා ගැනීමේ අපහසුතාව නිසා මංගල්‍යයේ බොහෝ කටයුතු සිදුකරනු ලැබුවේ තමුන් ලද කෙටි විවේකයේදීය. මංගල දිනයේදී ඇඳීමට අවශ්‍ය ඇඳුම නිර්මාණය කිරීම හෙතෙම නගරයේ හිතවත් ඇඳුම් මසන්නකුට දුන්නේ දන්නා කලක සිටම ඔහු කෙරෙහි ගොඩනගාගෙන තිබූ දැඩි විශ්වාසය නිසාය.
මංගල දිනයට දිනක් පමණ ඉතිරිව තිබියදී නිවාඩු ලබා පැමිධෑ හෙතෙම ඇඳුම් මසන්නා හමුවී ඔහුගේ සියලු ගෙවීම්ද අවසන් කර ඔහු සකස් කර දුන් මංගල ඇඳුමද රැගෙන නිවෙසට ගියේ එය දිගහැර පරික්ෂා කරන්නට තරම් විවේකයක් නොමැති කමටත් වඩා ඇඳුම් මසන්නාගේ වැඩ ගැන ගොඩනගාගෙන තිබූ දැඩි විශ්වාසය නිසාය. මංගල දිනයේ උදෑසනින්ම මංගල ඇඳුම් අසුරා තිබූ බෑගය අතට ගෙන එහි වූ ඇඳුම් කට්ටලය කඩිමුඩියේම පිටතට ගත්තේය. ඔහුගේ යක්ෂයා ආරූඩ වූවේ තමුන්ගේ මංගල ඇඳුම වෙනුවට එහි තිබූ සුදුපැහැති පාසල් නිල ඇඳුමක් දැකීමෙනි. දුරකතනය අතට ගත් හෙතෙම ඇඳුම් මසන්නාට පමණක් නොව ඔහුගේ මව ද යහමින් මතක් කර දුන්නේ මනමාල පාර්ශ්වයේ සෙසු පිරිසගේ බාධා කිරීම්ද නොසලකා හරිමිනි. අවසානයේ දී නගරයේ වෙළඳසලකට ගොස් තමන්ට ගැළපෙන ඇඳුමක් මිලදී ගෙන පැය දෙකක පමණ ප්‍රමාදයකින් ඔවුහු මංගල ගමන පිටත් විය.

