සතුන්ට ගැසූ ‘ගැටේට ’ ගොවියාම අහුවෙලා


(කටුගස්තොට - ධම්මික ගුණවර්ධන)
ණය තුරුස්වී මිලදීගත් ගම් කිකිළියන් දෙදෙනෙකු වලි කුකුළන් දෙදෙනකු සමග හාදවී පලායමක් හේතුවෙන් ගොවි මහතෙකු දැඩි ලෙස අසරණවූ පුවතක් පාතදුම්බරට තදාසන්න ගම්මානයකින් වාර්තා විය.


දරු සිව් දෙනෙකුගේ පියෙකු වන ඔහු ගොවිතැන් බත් කරමින් ජීවිකාව සරිකර ගැනීමට දැඩි වෙහෙසක් ගත්තද ඌරන්, ඉත්තෑවන් හා රිළවුන් නිසා එයටද එල්ලවී තිබුණේ දැඩි තර්ජනයකි.


මීට විකල්පයක් ගැන සිතූ ඔහු තම අසල්වාසියකුගෙන් ණයට ලබාගත් මුදලකින් ගම් කුකුළකු සමග එම කිකිළියන් දෙදෙනකු මිලට ගත්තේ ඉදිරියේදී එම සතුන්ගෙන් කුකුළු ගොවිපළක් හෝ දමා තම ජීවිකාව සරිකර ගැනීමටය.


කෙසේ නමුත් එසේ ගෙනා කිකිළියන් හා කුකුළා තම ගෙවත්තේ කෑම සොයා ඔබ මොබ ඇවිදිමින් සිටියදී හදිස්සියේ එහි පැමිණි වළි කුකුළන් දෙදෙනකු, කිකිළියන් දෙදෙනා සමග හාද වී සිටිනු දුටු ගොවි මහතා උන් පළවා හැරීමට තැත්කළත් එම කිකිළියන් දෙදෙනා වළිකුකුළන් දෙදෙනා සමග පැනගියේ ගොවි මහතාගේ සියලු බලාපොරොත්තුද බොඳ කරමිනි.