සංගීතයට ලොල් වී පාරේ ලගින්න වෙලා


කාවින්දි කරුණාතිලක 


සංගීත ප්‍රසංගයක් නැරැඹීමට ගොස් නැවත නිවෙස්වලට යාමට මුදල් නොමැතිව මහපාරේ රැය පහන් කළ තරුණියන් පිරිසක් පිළිබඳ පුවතක් නුගේගොඩ අවටින් වාර්තා විය.
සිද්ධිය මෙසේය.
නව පරපුරේ ගායක ගායිකාවන් රැසක් සහභාගි වූ සංගීත ප්‍රසංගයක් නැරැඹීමට මිතුරියන් පස්දෙනකු ගොස් ඇත.
හිතේ හැටියට කා බී විනෝද වූ ඔවුන්ට නිවෙස්වලට යාමට සිහි වී ඇත්තේ මධ්‍යම රාත්‍රියත් ඉක්මවා ගිය පසුවය. පාරට ගොස් මුදල් පසුම්බිය බැලූ තරුණියන් පස්දෙනාටම දෙයියන් සිහිවී ඇත්තේ අවම බස් ගාස්තුවවත් ගෙවීමට එක් අයකු ළඟ වත් මුදල් නොතිබූ නිසාය. කල්පනා කරමින් අසල තිබූ බස් නැවතුම්පොළට මිතුරියන් පස්දෙනා පයින්ම ගොස් ඇත.
නිශාචර බඹරුන්ගේ ඇස්වලට හසු වූ බස් නැවතුම්පළේ රැඳී සිටි තරුණියන් බිවු රන්කිරි කටින් එන තරමට බිය වී ඇත.


තමාට වූ අකරතැබ්බය නිවෙස්වලට කියාගත නොහැකිව පුරා පැය පහක් පමණ බස් නැවතුම්පළේම මදුරුවන් තළමින් රැය පහන් කරන්නට ඔවුන්ට සිදු වී ඇත.
මිතුරන්ට ද දුරකථන ඇමතුම් ගෙන උදවු පතන්නට ගිය ද කිසිවකුත් ඇමතුම් ලබා ගෙන නැති නිසා තරුණියන්ට තව තවත් දෙයියන් සිහි වී ඇත.
එළිවෙන ජාමේ එක් මිතුරකුට ලබාගත් ඇමතුම සාර්ථක වීමෙන් ඔහුගේ උදවු ඇතිව තරුණියන් පස්දෙනා නිවෙස්වලට ගොස් ඇත.
තම වගකීම් විරහිත බව පිළිබඳ තමාටම බනිමින් මිතුරියන් පස්දෙනා නිවෙස්වලට ගොඩ වී ඇත්තේ ප්‍රසංගය නිම වී යහළුවකුගේ නිවසේ රාත්‍රි ආහාර ගෙන නිදාගත් බව මවුපියන්ට පවසමිනි.