ශිෂ්‍යත්ව විභාගය නැත්නම් නරකාදියත් හොඳයිලූ


ලබන වසරේ පස්වන ශ්‍රේණියේ ශිෂ්‍යත්ව විභාගය වෙනුවෙන් යොමුවී සිටින දරුවකු ශිෂ්‍යත්ව විභාගය වෙනුවෙන් දැරීමට සිදුව ඇති පීඩාව හේතුවෙන් නරකාදියට යන්න කැමැතියි කීමේ සිද්ධියක් දකුණු පළාතේ ගම්බද පෙදෙසකින් අසන්නට ලැබිණි.

කෙසේ හෝ තම දරුවා ශිෂ්‍යත්ව විභාගය සමත් කරවා ගැනීමේ අරමුණින් දරුවාගේ මාපියෝ ඉමහත් වෙහෙසක් ගනිති. මේ සඳහා පාසලේ ඉගෙනුම් කටයුතුවලින් පසු අමතර පන්ති කීපයකට යාමටත්, ගෙදර සිටින විට ආදර්ශ ප‍්‍රශ්නවලට පිළිතුරු ලිවීමටත් සිදුව ඇති දරුවාට කිසිදු විවේකයක් නැති තරම්ය.

යහළුවන් සමඟ සෙල්ලම් කිරීමටත් ඔහුට තහනම්ය. එදින ද දරුවා ප‍්‍රශ්න පත‍්‍රයකට පිළිතුරු ලියා රූපවාහිනී පුවත් බලන්නට මාපියන් සමඟ ආලින්දයේ වාඩිවී සිටියදී දරුවකු මරා දැමීමේ පුවතක් රූපවාහිනියේ පුවත් අතරට එක්විණි. ඒ වනවිට තවත් දරුවන් කිහිප දෙනෙකු ඝාතනයට ලක්ව තිබීම ගැනත් එම පුවත්වලින් කියැවිණි.

එම පුවත් පිළිබඳව දෙමාපියෝ අදහස් දක්වමින්, මේ අපරාධ කරන එවුන් නරකාදියේම යන්න ඕනෑ. නැත්නම් එවුන්ට නරකාදියේ දඬුවම් දෙන්න ඕනෑ. මෙහෙ දඬුවම්වලින් එවුන්ට වැඩක් නැහැ” යැයි පවසනු දරුවාට ද ඇසිණි. එවිට දරුවා, අම්මේ නරකාදියේ ශිෂ්‍යත්ව විභාගය තියෙනවා දැයි ඇසුවේය. නරකාදියේ විභාග කොයින්ද පුතේ. එහෙ දඬුවම්නේ තියෙන්නේ.

හා හා දැන් ඉතින් ගිහින් හෙට පන්තියේ ගෙදර වැඩ කරන්න” යැයි එවිට මව පැවසුවාය. ”අපි වගේ පොඩි අයට එහෙ මෙහෙ වගේ දඬුවම් දෙන එකක් නැහැ. එහෙ ශිෂ්‍යත්වේ නැතිනම් මටත් ආසයි අම්මේ එහෙ යන්න” යැයි දරුවා ඔහුට සිතුණ දේ කියා මවගේ නියෝගය ක‍්‍රියාත්මක කිරීමට කාමරයට ගියේ, මවත් පියාත් මුහුණට මුහුණ බලා ගනිද්දීය.