ශාස්ත්‍ර අහන්න ගිහින් පේනකාරියටත් යන එන මං නැතිවෙලා


(උණවටුන - ඩී.ජී. සුගතපාල)
ඔහු පළමුවෙන්ම පොල් ලී මුදලාලි කෙනකු ළඟ වැඩ කළේය. කපන ලද පොල් ගස් විවිධ ප්‍රමාණවලට කපා ඒවා සුද්ධ කර පරාල යට ලී ආදිය සඳහා සකස් කළේ ඔහුය. තම සේවකයාගේ විශ්වාසවන්තකම පිළිබඳ පොල් ලී මුදලාලි ද පැහැදී සිටියේය. එහෙත් ඔහු වෑයෙන් පොල් පරාල සුද්ධකරන ගමන් නිතරම සිතුවේ හැමදාමත් අනුන් යටතේ වැඩ කරනවාට වඩා තමන්ටත් පොල් ලී වෙළෙඳ සලක් පටන් ගන්නට ඇත්නම් කොපමණ හොඳද යනුවෙනි.


මේ අතර ටික කලකින්ම මුදලාලි අසනීප තත්ත්වයට පත්විය. පොල් පරාල යට ලී වෙළඳාම ද නැතිව ගියේය. ඔහු ණයට මුදල් ලබාගෙන පළාතේ ඇවිදිමින් පොල් ගස් කපාගෙන ඇවිත් පොල් ලී වෙළෙඳසලක් පටන් ගත්තේය.


දැන් ඔහුගේ ලී වෙළෙඳාම සරුය. මේ අතර දිනක් උදෑසන නැගිට බලනවිට ලී මඩුවේ තිබු අඩි 18ක් දිග යට ලී තුනක්ම සොරුන් ගෙන ගොස්ය. තමාගේ ලී මඩුව දියුණුවන නිසා කිසිවකු මෙය කරන්නට ඇතැයි ඔහු සිතුවේය. එහෙත් එය හරියට දැන ගැනීමට ඔහුට අවශ්‍ය විය.


එනිසා එදිනම සවස ප්‍රදේශයේ දේවාරූඪයෙන් ශාස්ත්‍ර කියන ශාස්ත්‍රකාරියක ළඟට ගියේය. පෝලිමේ සිටි ඔහු තමාගේ වාරය පැමිණි පසු බුලත් කොළ කිහිපයක් මත රුපියල් තුන්සීයයි සත දහයක් තබා ශාස්ත්‍රකාරියගේ අතට දුන්නේය. ඒ සමගම ඇය ඔළුව දෙපසට කරකවමින් මහ හඬින් දෙවියන්ට කන්නලව් කරන්නට වූවාය.


“හ්ම්... හ්ම්... දරුවා තමාගේ නැති වුණ දෙයක් ගැන අහන්නේ” 


“එහෙමයි එහෙමයි මෑණියෙනි” ඔහු ද පිළිතුරු බැන්දේය.


“තමා දියුණු වෙනවට ඉරිසියාවේ තමයි මේ සොරකම කරල තියෙන්නේ. දරුව ඔය දරුවගේ ගෙදරට නිතරම යන එන කෙනෙක් මේක ඉණේ ගහගෙන ගිහිල්ලා. ආපහු ලැබෙන්නේ නම් නැහැ දරුවා”


මෙය අසා සිටි ඔහුගේ කෝපය ඉහවහා ගියේය.


“මොනවා අඩි දහඅටක් දිග යට ලී තුනක් කොහොමද ඉණේ ගහගෙන යන්නේ. බොරු කියන්න එපා. මගේ සල්ලි දෙන්න”


ඒ සමගම ශාස්ත්‍ර ඇසීමට පැමිණ සිටි අනෙක් අයටද ඇතිවූයේ ශාස්ත්‍රය ගැන සැකයකි. ඔහුගේ කෑගැසීමට වටාපිටාවේ අයද පැමිණියහ.

එහි ප්‍රතිඵලය වූයේ ඔහුට මෙන්ම වැඩි කල් නොගොස් ශාස්ත්‍රකාරියට ද දේවාලයෙන්ම පිටවීමටය.