පුද්ගලික ආරක්‍ෂක නිලධාරියකු වූ හෙතෙම උදෑසන ආහාර ගැනීමට පැමිණෙන්නේ එකම හෝටලයකටය. ඔහු දකින වේටර් “ගුඞ්මෝනිං සර්” යැයි පවසා කන්නේ මොනවාදැයි විමසයි. ආහාරයෙන් පසු වේටර්ට රුපියල් විස්සක සංතෝසමක් දීම ඔහුගේ සිරිතය. එදාද ආරක්‍ෂක නිලධාරියා හොඳින් හැඳ පැළඳ හෝටලයට පැමිණියේය. “ගුඞ් මෝනිං සර්” වේටර් ගෞරව පුර්වකව පැවසීය. “ මට රතු කැකුළු බත් එකක් ගේන්න”ආ/ නිලධාරියා කීය. ආහාර ගැනීමෙන් අනතුරුව මුදල ගෙවු ආ/ නිලධාරියාගෙන් වේටර් මෙසේ ඇසීය.

“සර් කොහෙද වැඩ කරන්නේ?”ආරක්‍ෂක නිලධාරියා තම සේවා ස්ථානයේ නම කීය. “සර් ඒකේ මැනේජර් කෙනෙක්ද?” වේටර් විමසූ විට සිනාසුනු ආරක්‍ෂක නිලධාරියා,“මම එකේ සෙකියුරිටි” යැයි පැවසීය.
පසුදින උදේ ආරක්‍ෂක නිලධාරියා පැමිණියේය. සර් යනුවෙන් පිළිගන්නා වේටර් සිටියේ ඉවත බලාගෙනය“ මට කිරිබත් ගේන්න” ආරක්‍ෂක නිලධාරියා පැවසීය. ආහාරයෙන් පසු ඔහු රුපියල් විස්සේ සංතෝසම වේටර් අත තැබීය. වේටර් එය ගත්තේ ඕනෑවට එපාවටය.
ආරක්‍ෂක නිලධාරියා මිතුරෙකුට මෙම සිදුවීම විස්තර කළේය.“ මම උදේට කෑම කන හෝටලේ වේටර් මට කතා කළේ සර් කියලයි. මාගේ ජොබ් එක ඇහුවට පස්සේ මාගේ මුණවත් බලන්නැහැ. මට සර් කියලා කතා කළාට එයාට ලැජ්ජා හිතිලා ඇති. අනෙක සිකුරිටි රක්‍ෂාව පහත් රක්‍ෂාවක් වෙන්නේ කොහොමද ත්‍රිවිධ හමුදාව, පොලිසිය ඔක්කොම කරන්නේ ආරක්‍ෂක රාජකාරි තමයි. එයාලා රට ආරක්‍ෂා කරනවා. අපි දේපළ ආරක්‍ෂා කරනවා. හෙතෙම පැවසීය.
එවිට මිතුරා කතා කරමින් ඕවා ගණන් ගන්න එපා.යැයි පැවසීය.
(ක්‍රිස්ටෝපර් සීපියන්)

