වෙරිමරගාතේ පාපිස්නයකින් ඇඟ පිහිදලා


(උණවටුන – ඩී.ජී. සුගතපාල)
ඔවුහු දෙදෙනා අගනුවර එකම ආයතනයක සේවය කළ කළණ මිතුරෝ වූහ. එක් අයෙක් දකුණු පළාතේ අගනගරයේ පදිංචිකරුවකු වූ අතර අනෙකා කන්ද උඩරට අගනගරයේය. රාජකාරි නිමවීමෙන් පසු බොහෝවිට සවස් කාලයේ දෙදෙනා අවන්හලකට වී පවුලේ තොරතුරු කතාබස් කිරීම සිරිතකි.


ඒ කන්ද උඩරට පැවැත්වෙන හෙළයේ මහා සංස්කෘතික උළෙලකි. “මචං දරුවොත් එක්ක මේ සැරේ වරෙන් පෙරහර බලන්න” කන්ද උඩරට මිතුරා දකුණේ මිතුරාට ආරාධනා කළේය. දකුණේ මිතුරා ද ආරධනාව සතුටින් බාර ගත්තේය.


ඊළඟ සතියේ නිවාඩුවට පැමිණි ඔහු බිරියට ද මේ බව පවසා මහනුවර යාමට දුම්රිය නිදහස් ගමන් බලපත්‍ර සකසා ගත්තේය. ඔහු බිරිය සහ දරුවන් දෙදෙනා ද සමග නුවර දුම්රියපොළෙන් බසින විට ඔවුන් කැඳවාගෙන යාමට මිතුරා පැමිණ සිටියේය. නගරයේ සිට සෑහෙන දුරකින් පිහිටි නිවසට යනවිට රාත්‍රී හත ද පසු වී තිබිණි.


ගමන් වෙහෙස නිවාගෙන රාත්‍රී ආහාර ගත් පවුල් දෙකේ අය නින්දට ගියේ පසු දින සැලැසුම් ගැන ද සාකච්ඡා කිරීමෙන් පසුවය. ඒ අනුව දින දෙකක් කන්ද උඩරට බොහෝ ස්ථාන සහ පෙරහර නැරඹූ දකුණේ මිතුරා සහ පවුලේ අය නුවරින් දුම්රියට ගොඩවූයේ කන්ද උඩරට මිතුරා සහ දරුවන් ද ඔවුන්ගේ නිවසට එන බවට පොරොන්දුවක් කරවා ගැනීමෙන් පසුවය.


පොරොන්දුව අනුව මාස දෙකකට පසු කන්ද උඩරට මිතුරා සහ පවුලේ අය ගාල්ල දුම්රියපොළෙන් බසිනා විටම ඔවුන් කැටුව යාමට සුඛෝපභෝගී මෝටර් රථයක් දුම්රියපොළ ඉදිරිපිට විය. මිතුරාගේ නිවස ඔවුන්ගේ නිවසට වඩා සුඛෝපභෝගී වූ අතර කන්ද උඩරට මිතුරා එය දැක තරමක් විශ්මයට පත්විය. එදින දිවා ආහාර ගත් පිරිස බොහෝ ස්ථානවල ඇවිද සවස් කාලයේ මුහුදු වෙරළේ ඇවිදීමට ගියහ.


නිවසට පැමිණීමෙන් පසුව මිතුරන් දෙදෙනා ඉහළම වර්ගයේ මත්පැන් බෝතලයක මූඩිය විවෘත කළේය. දෙදෙනාටම පදමට වෙරිය. කන්ද උඩරට මිතුරාට ඇඟ සෝදා ගැනීමට අවශ්‍ය විය. ඔහු කාමරයට ගොස් යාබද නාන කාමරයට වැදුණේය. කොතරම් ඇඟ සේදුවත් වෙරි හිඳුණේ නැත. නාන කාමරයේ තුවායක් තිබුණේ ද නැත. මේ නිසා ඔහු වටපිට බලා අසල කාමරයට වැදුණේ ඇඟ පිසදා ගැනීමටය.


ඇඳ ළඟ බිම වැටී තිබූ තුවායක් අතට ගත් ඔහු එය ගසා දමා ඇඟ පිසදා ගත්තේය. වැලි කැට වැනි දෙයකින් ඇඟ සීරෙන බවක් දැනුණත් ඔහු එය ගණන් නොගත්තේ පදමට රත් වී සිටි නිසාය. ඔහු ඇඟ පිසදාමින් සිටින විට මිතුරා කාමරයට ආවේය.


මිතුරා ඇඟ පිසදමන දෙය දුටු ඔහු වහා එය උදුරා ගත්තේය. “මචං මේ කකුල් පිහදාන්න බිමට දාලා තියෙන එකක්. පලයන් පලයන් හෝද ගනින්. මම තුවාය අරගෙන එන්නම්” මිතුරාගේ ඉල්ලීමට ඔහු යළිත් නාන කාමරයට වැදුණේය.