කැබිතිගොල්ලෑව හේමන්ත රණසූරිය
මස් මාළු නොකනවා යැයි කී උපාසිකාවකගේ ‘‘වෙජිටේරියන් පට්ටම” පන්සලේ දානයකදී ගැලවී යාමේ පුවතක් රජරට පළාතේ ගොවි ජනපදයකින් අසන්නට ලැබේ.
සිද්ධිය මෙසේය.
මෙම උපාසිකා මාතාව මස් මාංස ඇතුළු ‘‘පිලෑ පිලිහුඩු” කිසිවක් නො කන සිල්වත් තැනැත්තියක බව ගම් පළාතේ කා අතරත් විශ්වාසයක් ගොඩනැඟී තිබුණි. ඇය නිතරම පැවැසුවේ ‘‘මම වෙජිටේරියන් කෙනෙක්නේ..... මොකටද ඔය සතුන්ගේ මස් කන්නේ...? ” මුහුණට දැඩි අපුලක් ආරෝපණය කරගෙන නිතරම පැවැසීමට පුරුදු වී සිටියාය.
එදින පන්සලේ කඨින පින්කම දිනයයි. ගම්මාන හත අටක ගම්වැසියන් එදින පන්සලට සුදුවතින් සැරසී පැමිණ සිටි අතර, සියලු දෙනාම පාහේ එක් එක් වෑංජන, අතුරුපස, කැවිලි පෙවිලි ඇතුළු පූජා භාණ්ඩ ද රැගෙන පැමිණ සිටියහ. ඔවුහු ගෙනවිත් තිබූ බත් සහ වෑංජන දාන ශාලාව තුළ තැන්පත් කළහ.
උදෑසන සිට කඨින පින්කමට අයත් ධර්මානුකුල චාරිත්‍ර වාරිත්‍ර ඇතුළු වතාවත් ඉටු කරද්දී සැදැහැවත් පිරිස ඔළු ගෙඩි බිමට නවාගෙන දොහොත් මුදුන් දී ස්වාමීන් වහන්සේ අනුගමනය කළහ.
දාන ශාලාවට රැගෙන ආ නානාවිධ වෑංජන අතර, දඩමස් පුරවන ලද පීරිසි කීපයක් ද තිබුණේ ස්වාමීන් වහන්සේ පමණක් නොව ගිහියන් ද එදින පන්සලෙන් ආහාර ලබා ගන්නා බැවිනි.
මේ අව් අස්සේ, දාන ශාලාව දෙසට පිය නැගූ පන්සලේ කැපකරුවාට දැක ගැනීමට ලැබුණේ ඇස් අදහාගත නොහැකි දසුනකි.
‘‘දෙයියෝ සාක්කි” කියමින් දෑත නළලේ ගසා, කෑගසාගෙන පිරිස දෙසට දිව ගොස් ඔහු දුටු සිද්ධිය කීය.
දායක දායිකාවෝ කිහිපදෙනෙක් කඩිමුඩියේම දාන ශාලාවට දිව ගියහ. සිහිමුර්ජාවෙන් දඟලන ‘‘වෙජිටේරියන් උපාසක නෝනා” දුටු පිරිස අන්ද මන්ද වී මුහුණෙන් මුහුණ බලා ගත්හ.
පිරිසේ සිටි වැඩිහිටි දායකයකු දෙපාරක් නොසිතා, වෙජිටේරියන් නෝනා වෙතට පැන, ඇගේ පිට හරහා තරමක් තදින් පහර කිහිපයක් ගැසුවේ ඇයගේ උගුරේ කුමක් හෝ සිරවී ඇතැයි අනුමාන කළ බැවිනි.
කාරණය ඇත්තය. වෙජිටේරියන් උපාසක නෝනාගේ උගුරේ හිරවී තිබුණු උයන ලද මස් වෑංජනයක මස්කෑලි හත අටක ගුලියක් එකවරම එළියට විසිවී ගියේ, ඇයගේ කෑදරකම අබිබවා පුදුමයත්, සිනහවත් පිරිස අතර දෝර ගලමිනි.
වෙජිටේරියන් නෝනා මෙතෙක් කාලයක් තිස්සේ සඟවාගෙන සිටි රහස ගම් හතරක් පහක ජනතාව වෙත ඉගිලි ගියේ තත්පර හත අටක් ඇතුළතය.
එම තත්පර හත අටටත් වඩා වේගයෙන් මස් කෑ උපාසිකාව පන්සලෙන් වාෂ්ප වී සිටියාය.