කලවාන - උපේන්ද්‍ර ප්‍රියංකර ජාතුංගම
අප්‍රේල් පළවැනිදා යාළුවව රවටන්න හැදූ මිතුරකු අමාරුවේ වැටුණු අපූරු පුවතක් බස්නාහිර පළාතේ එක්තරා කාර්යාලයකින් වාර්තා වේ.
සිද්ධිය මෙසේය,
ඔහු විහිළු තහළුවෙන් ජීවත් වන පුද්ගලයකි. නිතරම විහිළුවෙන් සිටින ඔහු කාර්යාලය තුළ ජනප්‍රිය චරිතයකි. ඇස් රතු වන විහිළුද ඔහු ඇතැම් විට සිදු කරන බැවින් ඔහු පිළිබඳව ඇතැම් අය විමසිල්ලෙන් සිටිති.
හිතේ කිසි දෙයක් නැති වුණත් ඔහු තරුණියන් සමගද නිතරම විහිළු කරයි. එහෙත් ඔහු විවාහ වී සිටින බිරිය ඔහුගේ මෙම විහිළු පිළිබඳව අමනාපයෙන් පසු වන්නේ විශේෂයෙන් කාන්තාවන් සමග විහිළු කරන බැවිනි.
ඔහු තරුණියන් සමග සම්බන්ධතා පවත්වන බවට ඇයට සැක සිතී රණ්ඩු වූ අවස්ථාද බොහෝය. කෙසේ වෙතත් ඇය ඔහුගේ හොරයක් අහුවෙන තුරු බලා සිට ඇත්තේ හොඳ පාඩමක් කියා දීමට සිතාගෙනය.
ඔහු මිතුරෙකුට විහිළුවක් කිරීම සඳහා අප්‍රේල් පළවැනිදා කාර්යාලයට ගොස් ඇත්තේ කාන්තා යට ඇඳුමක් රැගෙනය. උදෑසන වට පිට බලා ළඟම මිතුරෙකුගේ බෑගයකට එම කාන්තා යට ඇඳුම දමා හිමිහිට එතනින් මාරු වී ඇත. මොහු පිළිබඳව හොඳින් දන්නා මිතුරා වහා සිය බෑගය පරීක්ෂා කර තම බෑගයේ තිබූ කාන්තා යට ඇඳුම ඔහුගේ බෑගයට දමා තිබේ.
පසුව හවස වැඩ ඇරී නිවසට ගිය ඔහු බෑගය පරීක්ෂා කර ඇත්තේ අප්‍රේල් පළවැනිදා බැවිනුත් තමන්ටද යාළුවෙක් විහිළුවක් කර ඇද්දැයි බැලීමටය. දුටු දෙයින් දෙවියන් සිහි වූ ඔහු තමා යාළුවට දැමූ යට ඇඳුම තමන්ට ආවේ කෙසේ දැයි කල්පනා කළේය. මෙලෙස යට ඇඳුම අතේ තබාගෙන කල්පනා කරමින් සිටින විට ඔහුගේ බිරිය ඔහු අසලට පැමිණ ඇත්තේ නිවස අතු ගාමින් සිටින ගමන් කොස්සද රැගෙනය.
බිරිය දැක කලබලයට පත් වූ ඔහු වහා යට ඇඳුම පිටුපසට කර සඟවාගෙන ඇත්තේ දෙවියන් සිහිව හීන් දහඩිය දමන අතරය. සැමියා යමක් සඟවනු දුටු ඇය ඔහු සමග පොර බදා යට ඇඳුම ගෙන පරීක්ෂා කර එය තමන්ගේ එකක් නොවන බව දැනගෙන තිබේ. යක්ෂයා ආරූඪ වූ බිරිය වේගයෙන් කොස්ස කැඩෙන තුරු ඔහුට පහර දී ඇත්තේ ඔහුගේ හොර අල්ලා ගත් බව පවසමිනි.
මිතුරා ඔහු අමතා ඇත්තේ තත්ත්වය විමසීමටය. එවිට ඔහු පවසා ඇත්තේ ‘‘අවුලක් නැහැ මචන් තාම එක කනක් ඇහෙන්නේ නැහැ” කියාය.