විවාහයට සහකරුවකු සොයා දේවාලයට ඇවිත් දේවමෑණියන්ගේ සැමියා උස්සලා


පේරාදෙණිය කුමාර රම්බොඩගෙදර
විවාහයට සුදුසු සහකරුවකු සොයා දෙන මෙන් ඉල්ලා දේවාරූඩයෙන් සාස්තර කියන දේවාලයකට පැමිණි තරුණියක දේවමැණියන්ගේ සැමියා සමග එක්වරම අතුරුදන්වීමේ පුවතක් මහනුවර ප්‍රදේශයෙන් වර්තා වේ.
ඇය වයස අවුරුදු 30ක් පමණ වයසැති තරුණියක්. මහනුවර ප්‍රදේශයේ දේවාලයකට පැමිණි මෙම තරුණිය විවාහවීම සඳහා සුදුසු සහකරුවකු සොයා දෙන මෙන් දේවමෑණියන්ගෙන් ඉල්ලා සිටියේ දහසකුත් බලාපොරොත්තු පොදි බැඳගෙනය. 
තරුණ වියේ පසුවූ දේවමෑණියෝද ඇගේ ප්‍රාර්ථනාව ඉටුකර දීමට මාස දෙකක කාලයක් ලබාදෙන ලෙස ඉල්ලා සිටියහ. එපමණක්ද නොව එම කාලය තුළ බදාදා සහ සෙනසුරාදා දින දේවාලයට පැමිණ දෙවියන්ට මල්පහන් පූජා කළ යුතු යැයි නියෝගයක්ද කළහ.


දේවමෑණියන්ගේ නියෝගයට අනුව අදාළ දිනවල දේවාලයට පැමිණි මෙම තරුණිය දේවාලයේ ආවතේව කටයුතු සිදුකළ දේවමෑණියන්ගේ සැමියා සමඟ හිත්වත්වී දේවාලයේ කටයුතුවලටද ඇය උදවු උපකාර කර ඇත්තේ පවුලේ අයකු ලෙසිනි.  
නිතර දෙවේලේ දේවාලයට පැමිණි මෙම තරුණිය දේවමෑණියන්ගේ සැමියා සමඟ අතුරුදන් වූවාය. පසුගිය දිනෙක රාත්‍රියේ ඔවුන් හොර රහසේ පලා ගොස් ඇත්තේ දේවාලය සතු වෑන් රථයද, රන්බඩු සහ මුදල්ද රැගෙනය. දැන් දේව මෑණියන් අංජනම් එළි යවන්නේ  ඔවුන් දෙන්නා ඉන්නා  තැන සොයා ගන්නටලු.