විදුහලේ කොන්ත්‍රාත් කරන ගමන් පොල් ගෝනියකුත් පන්නලා


මීරිගම පුෂ්පකුමාර මල්ලවආරච්චි


පාසල් භූමියකින් හොරෙන් කඩාගෙන ගිය පොල් ගෝනියක් පිළිබඳව විදුහල්පතිවරයා කළ සොයා බැලීමකින් පසු එය ආපසු රැගෙන ආ පිරිසක් පිළිබඳව බස්නාහිර පළාතේ ගම්මානයකින් පසුගියදා වාර්තා විය.

පාසල් භූමියේ නව ඉදිකිරීම් කිහිපයක් කෙරෙමින් පවතී. එහි සේවයට ආ පිරිසක් සවස් කාලයේ ගස් කිහිපයක පොල් කඩා ඇත්තේ විදුහල්පති හෝ වගකිවයුතු කිසිවෙකුට නොදන්වාය.

දවසේ වැඩ අහවර කළ සේවක පිරිස පිටව ගොස් ඇත්තේ කඩන ලද පොල් ගෝනියක්ද රැගෙනය.
විදුහල්පතිවරයාට සිද්ධිය සැලවීමෙන් පසු මේ ගැන කොන්ත්‍රාත්කරුට දැනුම් දෙනු ලැබූයේ මේ පිළිබඳව නිසි පියවර ගන්නා බව පවසමිනි.

ගතවූයේ ටික වේලාවකි. සේවක පිරිස පොල් ගෝනියද රැගෙන ආපසු ආයේය. විදුහල්පතිවරයාට දැනුම් දී සමාව ඉල්ලා සිටියේ පොලිසියට නොදන්වන ලෙස අයැද සිටිමිනි.

සේවක පිරිසට සමාව දුන් විදුහල්පතිවරයා යළි මෙවැනි වැරදි නොකරන ලෙසට උපදෙස් දුන්නේය.