විදුලි කාර්මිකයා ඡන්දෙන් පරාද වූ දුකට අතරමග නැවතූ වයරින් වැඬේට ගිහින් නෑ


(මීරිගම විශේෂ පුෂ්පකුමාර මල්ලවආරච්චි)
රජරට වැසියෙක් නව නිවෙසක් ඉදිකර එහි වයරින් කිරීමේ කටයුතු විදුලි කාර්මිකයකුට බාර කළේ පසුගිය වසරේ අග භාගයේ දිනකය. මාසයක් දෙකක් ගත වෙද්දී වැඩ කටයුතු කෙමෙන් කෙමෙන් අවසන් කෙරිණි. ජනවාරි අග වෙද්දී ඉතිරිව තිබුණේ වැඩ කටයුතු ස්වල්පයකි.


මේ අතර විදුලි කාර්මිකයාට නව දේශපාලන පක්‍ෂයකින් පළාත් පාලන මැතිවරණයට අපේක්‍ෂක වරම්ද හිමිවිය. මැතිවරණයට දින කිහිපයක් තිබියදී “ඉතිරි වැඩ ඡන්දෙන් පස්සේ කරමු”යි කියා විදුලි කාර්මිකයා ගියේ මැතිවරණ කටයුතුවල වැඩි වැඩියෙන් නිරතවිය යුතු බැවිනි.


නිවැසියන් මෙම මැතිවරණයේදී වැඩ කළේ විදුලි කාර්මිකයාගේ දේශපාලන පක්‍ෂයට පසුමිතුරුවූ පක්‍ෂයකටය. මැතිවරණය අවසන් විය. විදුලි කාර්මිකයාද පරාජයට පත්විය. ඒ ඡන්ද දෙක තුනකිනි. විදුලි වැඩ කළ නිවැසියන් තමන්ට ඡන්දය දුන්නේනම් පරාද නොවන බව ඔහුට ඒත්තු ගියේය. “ආයෙ නම් මම ඉතිරි වැඩ කර දෙන්න ඒ ගෙදර යන්නේ නම් නැහැ” ඔහු පැවැසූ බව නිවාසැයින්ට ආරංචි විය. 


නිවෙසේ වැඩ අවසන්ය. විදුලි වැඬේ ටිකක් ඇත. අනුන් කළ වැඬේ අවසන් කරන්නට දැන් වෙනත් කාර්මිකයකු එන්නේද නැත. වැඬේ කළ කාර්මිකයාට මන්ත්‍රී වරම් නොලැබීමේ දුකින් පෙළෙයි. නිවැසියන් ගෙට ගෙවදීමට වරින් වර නැකත් බලමින් රටේ ඉන්නා විදුලි කාර්මිකයන් සොයමින් පිංසෙණ්ඩු වෙමින් කල් ගත කරන්නේ සැමදා කුලී නිවසේ සිටිය නොහැකි බැවිනි.