වැව් පිටියේදී කතකට අරුම පුදුම අවියක් හමුවෙලා


(ගල්ගමුව - නිහාල් ජයවීර)

වැව් පිටියක මුකුණුවැන්න කඩමින් සිටි කාන්තාවකට අරුම පුදුම ‘‘පිස්තෝලයක්’’ හමුවීමෙන් ගම්වැසියන් හා නිලධාරීන් පිරිසකට විශාල අපහසුතාවකට පත්වීමට සිදු වූ සිද්ධියක් ගල්ගමුව, කාටුවැව ප‍්‍රදේශයෙන් දැන ගැනීමට ලැබිණි.

කාටුවැව, අමුණුකොළේ වැවේ පිට්ටනියේ මුකුණුවැන්න කඩමින් සිටියදී මේ ‘‘ගිනි අවිය’’ කාන්තාවට දැක ගැනීමට ලැබී තිබෙන අතර ඒ සම්බන්ධයෙන් ඇය ගමේ කීප දෙනකුට දැනුම් දී තිබේ.

ඔවුන් ද එහි ගොස් ඒ කුඩා ‘‘ගිනි අවිය’’ දැක එවැනි ‘‘ගිනි අවියක්’’ ජීවිතයට නොදැක ඇති නිසා ඒ පිළිබඳව පළාත බාර ග‍්‍රාම නිලධාරීවරයාට දැනුම් දී තිබේ.

ග‍්‍රාම නිලධාරීවරයා ද වැව් පිටියක කුඩා ප‍්‍රමාණයේ පිස්තෝලයක් ඇති බව ගල්ගමුව පොලිසියට දැනුම් දී තිබේ. ඒ අතර පොලිස් හදිසි ඇමතුම් අංශයට ද කිසියම් අයකු තොරතුරු දැනුම් දී ඇත.

වහා ක‍්‍රියාත්මක වූ ගල්ගමුව පොලිසිය රථ වාහන අංශයේ නිලධාරීන් දෙදෙනකු අදාළ ස්ථානයට පිටත් කර යවා තිබේ. ‘‘පිස්තෝලය’’ පොලිසිය බාරයට ගත් නිලධාරීන් දෙදෙනා එය පොලිස් ස්ථානය වෙත ගෙනැවිත් රථ වාහන අංශයේ ස්ථානාධිපතිවරයාගේ මේසය උඩ තැබීය.

අ`ගල් හතරක් පමණ දිගැති, නිකල් පැහැයට හුරු ඝන ලෝහයකින් නිපදවා තිබූ ‘පිස්තෝලය’ අතට ගත් ස්ථානාධිපතිවරයා ‘මේක සෙල්ලම් පිස්තෝලයක්නේ. ඔය වෙඩි බෙහෙත් කවාපු ගුලියක් තියලා කොකා ගැස්සුවාම පටාස් ගාලා පුපුරන්න හදලානේ තියෙන්නේ’යි කියමින් අරුම පුදුම ගිනි අවිය මේසය මත තැබීය.

අපරාදෙ කිලෝමීටර් හැට හැත්තෑවක් යන්න එන්න පැට‍්‍රල් පිච්චුවේයි නිලධාරියකුට කියැවිණ.