බළපිටියේ - එස්. ඒ. වයි. ද සිල්වා
හෙතෙම දරුවන් හත් අට දෙනකුගේ පියෙකි. මාළු විකුණා එදිනෙදා ජීවිතය සරි කර ගන්නා මොහු දරු පවුල රැක ගැනීමට නොයෙකුත් උත්සාහයන් ගන්නේය. මොන ප්‍රශ්න තිබුණත් ඉඳ හිට මධුවිතෙන් ද සප්පායම් වීමටද අමතක කළේ නැත. ඒ අනුන්ගෙන් පිනට ලැබුණොත් පමණි.
අනෙක් වෙළෙන්දන්ගේ මාළු මිල වැඩිය. සාමාන්‍යයෙන් හොඳ තත්ත්වයේම මාළු නොවුණත් මොහුගෙන් මිලදී ගැනීමට පිරිසක් සැදී සිටියහ. මාදැල් වාරය වන මේ කාලයේ ඔහුට අත මිට යම් මුදලක් ලැබෙන කාලයකි. අනෙක් වෙළෙන්ඳන් වගේ මාදැල් අදිනතුරු වරායට වී බලා නොසිටින මොහු දැල ඇදීමටද උදව් වීම සිරිතකි. මාළු මිලදී ගැනීමේදී දැල් හිමියෝ මොහුට ඒ නිසා වැඩිපුර මාළු දීමටද පුරුදු වී සිටියහ.
මාදැල්වලට හසුවනුයේ හාල්මැස්සන් වැනි කුඩා මාළුය. හාල්මැස්සන් මාළු මිලදී ගත් පසු මොහු මාළුන්ට ඒ හා සමානවම වැලි කලවම් කිරීම කරනුයේ වැඩි ලාබයක් ලබා ගැනීමටය. එහෙත් මොහුගෙන් මාළු මිලදී ගැනීමට පුරුදු වී සිටින පිරිස දිනපතාම මාළු මිලදී ගනිති.
‘මාලෝ..මාලෝ.. හාල්මැස්සෝ.. දැන් දැලේ මාළු’ යැයි කියමින් පසුගිය දිනක මොහු හාල්මැස්සන් මාළු වෙළෙඳාමේ ගියේය. එදා සති අන්ත නිවාඩු දිනයකි. ඉස්කෝල හාමිනේ කෙනෙක් එදා ගෙදර සිටියාය. මිදුල අතුගාමින් සිටි ඉස්කෝල හාමිනේ දුටු මොහු පාපැදිය නවතාි ඉස්කෝලෙ හාමිනේ ..අද මාළු ගන්නේ නැද්ද? .. දැන් දැලේ මාළු ..අලුත් හාල්මැස්සෝ.. ටිකක් ලොකු මාළු‘.. යැයි හාල්මැස්සන් ගැන වර්ණනා කළේය.
‘අනේ මුදලාලි අපි දැන් ගේ හදල ඉවරයි.. ඒ නිසා අපට මාළු දැන් අවශ්‍ය නැති නිසා මාළු එපා..‘ යැයි ඉස්කෝල හාමිනේ කීවාය.
‘මොකක්ද ඉස්කෝල හාමිනේ ඒ හරුපෙ..‘ වැඩි විස්තර දැන ගැනීමේ අටියෙන් වෙළෙන්දා ඉස්කෝල හාමිනේගෙන් විමසා සිටියේය.
‘නෑ ඉතිං මුදලාලි..ඔහේ විකුණන්නේ මාළුවලට වඩා වැලි නේ.. ඒ නිසා දැන් අපි ගේ හදල ඉවරයි. දැන් අපට වැලි අවශ්‍ය නැහැ. ඒ හින්දා මාළුත් අපට එපා..’
ඉස්කෝල හාමිනේ ඒ වදන් පෙළ කියා අවසන්වීමටත් පෙර ඔහු පාපැදිය හෙමින් සීරුවේ තල්ලු කරගෙන ගියේය.