වැඩි තණ්හාවට ගිහින් අතින් කයිට් වෙලා


පෝද්දල සරත් ආනන්ද ගමගේ


වඩු මඩුවක සිට සැතපුමක් පමණ දුරකින් පිහිටි නිවසකට ටී.වී. ස්ටෑන්ඩ් එකක් ප්‍රවාහනය කිරීමට රුපියල් 800/= ක් වැය කිරීම ප්‍රතික්ෂේප කරමින් එම භාණ්ඩය පා පැදියකින් රැගෙන ගිය පුද්ගලයෙකු එය බිම දමාගෙන කකුලකුත් තුවාල කරගෙන රෝහල්ගතවී භාණ්ඩයත් අහිමි කරගෙන රුපියල් 18,000/= ක පමණ අලාභයක් ද සිදුකර ගත් පුවතක් දකුණු පළාතේ ගිංගඟ අසබඩ ගම්මානයකින් වාර්තා වේ.
ඔහු විශ්‍රාමික හමුදා නිලධාරියෙකි. පෞද්ගලික ආරක්ෂක අංශයක නිලධාරියෙකු ලෙස දකුණු ලක අගනගරයේ ගබඩාවක සේවයේ නියුතුව සිටි. විදෙස් රටක සිට ගෙන්වන ලද භාණ්ඩ තොගයක් පටවා තිබුණු ලෑලි පෙට්ටියක ලෑලි තොගයක් ආයතනයේ අවසරය මත ලබාගත් මේ පුද්ගලයා ඒවා සිය යතුරු පැදියෙන් ටික ටික හිතවත් වඩු කාර්මිකයෙකුගේ ලී මඩුවකට රැගෙන ගියේය.
එම ලෑලි තොගයෙන් මිතුරාට කියා ටී.වී. ස්ටෑන්ඩ් එකක් සාදවාගත් ඔහු එය රැගෙන ඒමට පාපැදියකින් ඔහු සොයා ගියේය. මිතුරාගේ ගනුදෙනු බේරා පාපැදියේ තබාගෙන භාණ්ඩය ගෙන යාමට ඔහු උත්සාහ කරනු දුටු වඩුකාර්මික මිතුරා ඊට තරයේම විරුද්ධවී දෙදෙනාගේම මිතුරු ලෑන්ඩ් මාස්ටර් මිතුරෙකුට දුරකතන ඇමතුමක් ලබාගෙන විමසීමේදී ඒ මිතුරා මිතුරුකම නිසා රුපියල් 800/= කට භාණ්ඩය ප්‍රවාහනය කිරීමට හැකි බව පවසා ඇත. 
එවිට ‘‘අම්මෝ ! රුපියල් 800/= ක් දෙන්න මට පිස්සුවක් නෑ”‍ යි කියමින් මිතුරාගේ දැඩි විරෝධය මත ටී.වී. ස්ටෑන්ඩ් එක පාපැදියේ තබා ගැට ගසාගෙන පාපැදිය තල්ලු‍ කරගෙන පිටත්වී ඇත. එය ප්‍රධාන මාර්ගයේ රැගෙන යන අතරේ දී ලණුව බුරුල්වී ටී වී ස්ටෑන්ඩ් එක ඔහුගේ කකුලක් මතට ඇදවැටී කකුලට ද තුවාල සිදුවී භාණ්ඩයට ද හානි සිදුවී ඇත. ඔහු මාර්ගයේ තුවාල ලබා සිටිනු දුටු තවත් මිතුරෙකු කැඩුණු භාණ්ඩය ද අසල නිවසකට දමා ඔහු රෝහල් ගතකරනු ලැබීය.


 දින දෙකක් රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබාගෙන නිවසට ගිය ද තුවාලය ඉක්මනින් සුව නොවීම නිසා තවත් සතියක පමණ කාලයක් දුක් විඳීමට ඔහුට සිදු විය.
 ස්ථිර රැකියාවක් නොවන වැඩ කළ දිනවලට පමණක් පඩි ලැබෙන රැකියාවක් බැවින් මේ දින කීපයේම ඔහුගේ ආදායම ද අහිමිවී ඇති අතර බේත් හේත් වලටත් ගිය වියදම් අනුව රුපියල් 18.000 /= ක පමණ අලාභයක් සිදුවූ බවත් මිතුරෙකුට පවසා ඇත.
සිද්ධිය දන්නා වඩුකාර්මික මිතුරා සම්පූර්ණ කතාව ලු‍ණු ඇඹුල් ඇතුවම මිතුරන්ට පැවසීම නිසා මේ දිනවල ඔහු සමාජයට මුහුණ නොදී නිවසටමවී සිටින බවද ආරංචියි. කැඩුණු ටී වී ස්ටෑන්ඞ් එකත් ප්‍රධාන මාර්ගයේ නිවසක පිළිකන්නේ තිබෙන බවත් එය රැගෙන ඒමටවත් ඔහු මෙතෙක් ගොස් නැති බවත් ආරංචියි.