වහලෙන් ඇවිත් සූර්වී ජනේලෙන් ගෙදර ගිහින්


පෙරේතකම නිසා සොරෙකුට ආ කාරණයද අමතක වී නිවැසියන්ට හසුවීමේ පුවතක් කටුගස්තොටට නුදුරු ගම්මානයකින් වාර්තාවේ.
වාර්තාවන අන්දමට සිද්ධිය සැකවින් මෙසේය. 


අලු‍ත විවාහ පත්වූ ඔහු පෞද්ගලික මූල්‍ය ආයතනයක සේවයේ නියුතු අතර ඇය වෘත්තියෙන් ගුරුවරියකි. තවමත් වැඩ නිමනොකළ නිවසේ සිට සේවයට යන එම දෙපළ එදිනත් සුපුරුදු රාජකාරි සඳහා පිටත්ව ගියේ උදෑසනිනි. කෙසේ නමුත් ඒ ආසන්න නිවසක සිටින අවිවාහක තරුණයෙකු  කල් යල් බලා එම නිවසට එදින දහවල් ඇතුල්වී ඇත්තේ  වටිනා කියන දෙයක් අතපත ගාගෙනයාමේ අරමුණින් තවමත් වැඩ නිමනොකළ එම නිවසේ වහලයෙනි.


එසේ නිවසට ඇතුළු වූ පුද්ගලයා නිවසේ ඔබ මොබ  ඇවිදිමින් සිටියදී එහි කැබිනට්ටුවක් උඩ තබා තිබූ විදේශයකින් ආනයනය කළ මත් පැන් බෝතලයක් වෙත ඇස ගැටී ඇත්තේ අහම්බෙනි. 


ලද සැනින් එය අතට ගත් ඔහු එහි කුස්සියේ උයා තබා තිබූ ඉතිරි වූ    අල බැදුමක්ද ගෙන සප්පායම්වීමට පටන්ගෙන ඇත්තේ එම නිවසේ සැටියේ සිට සුව පහසුවෙනි.  


විනාඩියෙන් විනාඩිය ගතවන විට, ඔහුටද නොදැනීම එහිම නින්ද ගොස් ඇත්තේ සීමාවද ඉක්මවා මත්පැන් බෝතලයද හිස්වීම හේතුවෙනි.


මේ අතර සේවය නිමවා තම නිවසට පැමිණි එම යුවළ නිවසට ඇතුල්වූ සැනින් දුටු දසුනින් අන්දමන්ද වී ඇති අතර එතෙක් නින්දේ සිටි පුද්ගලයාටද වෙරි සිඳී ඇත්තේ එම යුවළ තමන් ඉදිරියේ සිටිනු දැකීමෙනි.


පසුව වර්තමානයේ රටේ පවතින ආර්ථිකය හමුවේ ජීවත්වීමට ඇති නොහැකියාව නිසා තමන් සොරකමේ පැමිණි බවත් සිදුවූ හා සිදුකළ වරදට  අසල්වැසියකු ලෙස හඬමින්  සමාව ඉල්ලමින්  මින්  ඉදිරියට දෑතේ දෙපයේ රැකියාවකින්  ජීවත්වන බවට දිවුරා පොරොන්දු වූ ඔහු   එම යුවළ හමුවේ පැමිණි වහලයෙන් නොව කලබල වූ තරම කොපමණද කිවහොත්  නිවසේ දොරෙන් නොව පොලු නැති ජනේලයෙන් පැන ගියේලු. 

කටුගස්තොට ධම්මික ගුණවර්ධන