ආයතනයක සීසීටීවි කැමරා කිහිපයක් සවිකර තිබිණි. දිනක් ආයතනයේ නිලධාරියෙක් කැමරා දසුන් පරීක්ෂා කරන විට පිටත සවිකර ඇති කැමරාවක දසුන් වෙනදා මෙන් නොව වෙනත් දිශාවකට යොමුවී ඇති බව පෙනී ගියේය.
කලබලවූ ඔහු කළමනාකරුට ඒ බව දැන්වීය. පසුව ඔවුන් කැමරාවේ දසුන් පරීක්ෂා කළත් කිසියම් හෝඩුවාවක් ලබාගැනීමට නොහැකි විය. ඔවුන්ගේ සැකය යොමුවූයේ ආරක්ෂක නිලධාරීන් වෙතය. ”සර් ඒ අය කැමරාව පහත් කරලා හොර වැඩක් කරනවා ඇති” එක් නිලධාරියෙක් පැවසීය. කළමනාකරුගේ උපදෙස් අනුව නිලධාරියෝ දෙදෙනෙක් ඉදිරිපස ගොඩනැගිල්ලේ හිමිකරුගේ අනුදැනුම මත රාත‍්‍රියේ එයට නැග කුමක් සිදුවන්නේ දැයි පරීක්ෂාවෙන් එළිවෙන තුරු බලා සිටියහ. සැකයට තුඩුදෙන කිසිවක් වුණේ නැත. නිදි මැරීමෙන් හොඳටම හෙම්බත්වී සිටි ඔවුන් දෙදෙනා කාර්යාලයට පැමිණ විස්තරය හොර රහසේ කළමනාකරුට දන්වා නිවෙස් කරා පියනැගුවේ හොඳ නින්දක් බලාපොරොත්තුවෙනි. කළමනාකරු කැමරා සවිකළ ආයතනයට කතාකොට කවුරු හෝ කැමරාව පහත් කර ඇති බව දැන්වීය. සීසීටීවි ආයතනයේ නිලධාරීන් වහා පැමිණ ඉනිමගකට නැග කැමරාව පිරික්සූවිට කැමරාව උඩ තිබූ කුරුළු වසුරු දැකගත හැකිවිය. කැමරාව නැවත සකස් කළ ඔවුහු කළමනාකරු හමුවී, ”සර් කැමරාව කවුරුවත් වෙනස් කරලා නැහැ. ඒක උඩ රෑට ලොකු කුරුල්ලෙක් ඉන්නවා. ඒ නිසයි කැමරාව පහත් වුණේ” යනුවෙන් පැහැදිලි කළහ. අපි බොරුවටනේ ඒ අයව සැක කළේ. කළමනාකරු තවකෙකුට පැවසීය.
(ක‍්‍රිස්ටෝපර් සීපියන්)

