වල් අලියකුට බිය වී රෑ මැදියමේ ගසකට ගොඩවීමට ගිය පුද්ගලයකු එම අලියාටම බයේ ඊට පෙර ගසට ගොඩවී සිටි පුද්ගලයකුට බියවීම නිසා ගුරුකමක් කොට නූල් බඳින්නට සිදුවූ බව කියන පුවතක් ලංකාදීපයට වාර්තා වේ.
සිද්ධිය මෙසේය.
නිතර වල් අලි කඩාවදින ගම්මානයකි. පසුගිය දිනෙක ගමේ මළ ගෙදරකට ගොස් මහ රෑ මැද්දේ තනි පංගලමේ ආපසු නිවෙස බලා එමින් සිටි පුද්ගලයකුට
එක්වරම අලි පන්නා දමන හඬක් ඇසී ඇති අතර, බෙහෙවින්ම බියට පත්වූ හෙතෙම දිව ගොස් පාර අයිනේ තිබූ ගසකට ගොඩවී ඇත්තේ අලියෙකුට හසුවුවහොත් සිදුවන්නේ කුමක් දැයි හොඳින් දන්නා හෙයිනි. මර බියේ අඩියට දෙකට ගසට ගොඩ වූ ඔහුට ඝන කරුවලේම ගස උඩ සිටි යමෙක් “හෙමින් නැගපන්” කියමින් සිනා සී අත දිගු කර ඔහු තදින් අල්ලාගෙන ඇති අතර අලියාට බියේ අව සිහියෙන් මෙන් ගසට ගොඩ වූ හෙතෙම එයින් දැඩි භීතියකට පත්ව මර හඬ දී අත ගසා දමා ගසින් බැස ඇත්තේ මේ නම් හොල්මනක් යැයි සිතමිනි.
ගස උඩ සිටි අය “දුවන්න එපා මම අහවලා” කියමින් කෑ ගසද්දීම පස්ස නොබලා තම නිවසටම දිවගොස් ඇති අතර, දින කිහිපයකින් පසු ඔහු පියවි සිහියට එළැඹ ඇත්තේ ගුරකු ගෙන්වා කරේ කහ නූලක් ද බැඳීමෙන් පසුවය. ගස උඩ හිඳ ඇත්තේ ද අලි එළවන හඬින් බිය පත්වූ එම ගම්මානයේම පුද්ගලයෙකි.
(වියලුව වාර්තාකරු)

