වරෙන්තුකාර සැමියා පොලිසියෙන් බේරාගන්න බිරිය ඇඟෙන් වහගෙන


වරෙන්තුකරුවකු වූ සිය සැමියා පොලිසියට හසු නොවී බේරා ගැනීමට ඇඳේ මෙට්ටය යට දිගාවී සිටින සැමියා පිටට නොපෙනෙනසේ ඔහුගේ ඇඟ උඩ නිදා සිටින භාර්යාවක පිළිබඳව පුවතක් කොස්ගොඩ පොලිසියෙන් වාර්තා වේ.


 කෙනෙකුට  කැති පහර එල්ල කිරීම සහ නිවසක් පොඩි කිරීම සම්බන්ධයෙන් අධිකරණය මඟහැර සිටි වරෙන්තු කරුවෙකි. ඔහු කාලයක් තිස්සේ සිටම පොලීසිය මගහරිමින්  සිටියේය. ඔහු සිය නිවසේ ඇතැයි යන්න පිළිබඳව නිවැරදි තොරතුරු පොලිසියට ලැබුණත් ඔහු ලෙහෙසියෙන් අත්අඩංගුවට ගැනීමට නොහැකි විය. නිවසේ  ඔහු සිටිනවා යයි කී සැණින් පොලිසිය ඔහුගේ ගේ වට කළත් ඔහු අල්ලා ගැනීමට බැරිවූ වාර බොහෝය.


 එදා කොස්ගොඩ පොලිසියේ අපරාධ අංශයේ ස්ථානාධිපති පොලිස් පරීක්‍ෂක විජිත් ජයන්ත මහතා ඔහුගේ නිවස වට කළේ ලැබුණු තොරතුරකට අනුවය.  ඒ අනුව ඔහුත් සමඟ ගිය පොලිස් නිලධාරීන් සැකකරුගේ නිවසේ සෑම තැනම සෙව්වත් ඔහු සිටින ඉසව්වක් හෝ ඒ සඳහා හෝඩුවාවක් සොයාගැනීමට නොහැකි විය. සැකකරුගේ භාර්යාව වෙනදාමෙන් එදාද අසනීපවී කාමරයක ඇඳේ සිටියේ කෙඳිරි ගාමිනි. ඒ කාමරයට ගිය පොලිස් නිලධාරීන් සැමියා ගැන ඇහුවත් ඇය කීවේ තම සැමියා කාලයකින් ගෙදර නොආ  බවය.


 උකුසු ඇස් ඇති පොලිස් පරීක්‍ෂක විජිත් ජයතිලක මහතා ඇඳේ නිදා සිටින කාන්තාව අස්වාභාවිකව ඉහළ පහළ යනසේ ගැස්සෙනු දුටුවේය. මේ ගැන ඇතිවූ සැකය මත අසනීපවී සිටිනවා යයි කී කාන්තාවට ඇඳෙන් නැගිටින ලෙස විජිත් මහතා ඇයට කීවත් ඇය කීවේ තමාට ඇඳෙන් නැගිටීමට තරම්වත් සනීප නැති බවය. 


තමන් සමග ගිය පොලිස් කාන්තාවක් මාර්ගයෙන් ඇය ඇඳෙන් බැස්සවූ විට කාලයකින් ගෙදර නොආ වරෙන්තුකරුවකු වූ ඇයගේ සැමියා ඇඳේ මෙට්ටය යට සිටිනු පොලිස් නිලධාරීන්ට දැක ගැනීමට හැකි වූයෙන්  මෙතෙක් කලක් සැකකරු නිවසේ සිටින බවට තොරතුරු ලැබුණත් සැමියාගේත්  භාර්යාවගේත් මේ උපක‍්‍රමය නිසා ඔහු අත්අඩංගවට ගැනීමට නොහැකි විය.


පොලීසිය ආ සෑම දිනකම සැකකරු ඇඳේ තිබූ ඝනකම මෙට්ටය හාරා ඒ තුළට යන අතර ඔහුගේ භාර්යාව ඔහුගේ ඇඟ උඩ නිදා සිටිනුයේ ඔහුව පිටට නොපෙනෙන පරිදිය.