වයසක කතකට අසුන පරිත්‍යාග කළාම ‘අයියා’ වෙලා


(හාරිස්පත්තුවේ - මොහොමඞ් ආසික්)
බස් රථයකට ගොඩ වූ අසනීප තත්ත්වයෙන් සිටි වයෝවෘද්ධ කාන්තාවකට එම බස් රියේ වාඩි වී සිටි මැදිවියේ පුද්ගලයකු තම අසුන පරිත්‍යාග කිරීමෙන් පසුව එම කාන්තාව “බොහෝම ස්තූතියි අයියේ” යැයි කීම නිසා එම මැදිවියේ පුද්ගලයා අපහසුතාවයට පත් වූ පුවතක් කන්දඋඩරට ප්‍රදේශයෙන් වාර්තා වෙයි.


වාර්තා වන අන්දමට සිද්ධිය මෙසේය.


එය කන්දඋඩරට ප්‍රදේශයේ ප්‍රධාන නගරයක සිට කුඩා නගරයක් දක්වා ධාවනය වන කුඩා ප්‍රමාණයේ බස් රථයකි. ප්‍රධාන නගරයේ සිට බස් රථය ධාවනය ආරම්භ කරන අවස්ථාවේම බස් රිය අතුරු සිදුරු නැතිව පිරී ගොස් තිබිණි.


අතරමඟදී බස් රථයට ඉතා අපහසුවෙන් ගොඩ වූ අසනීප තත්ත්වයෙන් පසුවන වයෝවෘද්ධ කාන්තාවක් බස් රථය තුළ අසුනක් සොයමින් වටපිට බලන අයුරු දුටු ඒ අසල වාඩි වී සිටි මැදිවියේ පුද්ගලයකු, එම කාන්තාවට කතාකර තම අසුන ඇයට ලබාදී මගීන්ගෙන් පිරී තිබූ බස් රථය තුළ ඔහු සිට ගත්තේය. 


තමන්ට ලැබුණු අසුනේ වාඩිවන ගමන් කාන්තාව මැදිවියේ මගියාට “බොහෝම ස්තුතියි අයියේ” යැයි කීම නිසා බස් රථයේ සිටි බොහෝ දෙනකු මෙම කාන්තාව සහ මැදිවියේ මගියා දෙස මාරුවෙන් මාරුවට බලන අයුරු දක්නට ලැබුණු අතර, මේ නිසා අසුන ලබා දුන් මගියා අපහසුතාවයට පත්ව සිටින අයුරු ද දක්නට ලැබිණි.