වන්දනාවේ ගිහින් එද්දී බිරිඳ සැමියාගේ ‘රෑ බේත’ මතක් කරලා


වන්දනාවේ ගොස් එමින් සිටි බිරියගේ මතක් කිරීමකට අනුව අත්‍යවශ්‍ය ඖෂධයක් ලබා ගැනීම සඳහා සුපිරි වෙළෙඳසලකට ගොඩවූ සැමියා සුපිරි වෙළෙඳසලේ මත්පැන් අලෙවි කුටියට අදාළ පෝලිමේ රැඳී සිටි පුවතක් මහනුවර ප්‍රදේශයෙන් වාර්තා වේ.
 මහනුවර ප්‍රදේශයේ ඥාති හිතමිතුරන් පිරිසක් සංවිධානය කරනු ලැබූ වන්දනා ගමනකට රජයේ විශ්‍රාමික ප්‍රධාන පෙළේ නිලතල දැරූ අඹුසැමි යුවළක්ද එක්ව සිටියහ. බිරිය වයස අවුරුදු අසූවක් පමණ වන අතර, සැමියාට වයස අසූපහක් පමණ වේ.
මහනුවර බලා ගමන් ගන්නා අතරතුර නගරයට ආසන්න සුපිරි වෙළෙඳසලක් අසල බස් රථය  නවත්වන ලෙස ඉල්ලා සිටි වයෝවෘද්ධ බිරිය තම සැමියා අමතා ‘ඔයාට ගන්න ඕනෑ බෙහෙත  මෙතනින් අරන් එන්න’ යැයි පැවසුවාය.


ඒ අනුව බස් රථයෙන් බැස සුපිරි වෙළෙඳසල වෙත ගිය සැමියා සැලකිය යුතු වේලාවක් ගියද නොපැමිණීම නිසා බස්රථයේ  සිටි අයෙක් ඔහු සොයා ගියේය. වෙළෙඳසල තුළට ගියත් ඔහු එහි ෆාමසියට අදාළ කවුන්ටරයේ නොසිටි බැවින් වෙළෙඳසල අවට විපරම් කර බැලුවේය. එවිට අදාළ අය මත්පැන් අලෙවි කුටියට අදාළ දිගු පෝලිමේ රැඳී සිටිනු දැක ඇත. එහෙත් ඔහු කිසිවක් නොදැක්කා මෙන් බස්රථයට පැමිණියේය.
ටික වේලාවකින් පසු මත්පැන් බෝතලයක් සාක්කුවේ දමාගෙන පැමිණි ඔහු බසයේ සිටි අයට ඇසෙන ලෙස ‘ෆාමසියේ ලොකු පෝලිමක්’ යැයි පැවසුවේය. පසුව සොයා බැලීමේදී මෙම නිලධාරියා බිරියගේ කැමැත්ත මත දිනපතා රාත්‍රියට මත්පැන් පානය කරන අයෙකු බව කියැවිණි  

පේරාදෙණිය කුමාර රම්බොඩගෙදර