වටේ ඇවිදලා ‘රටම’ කලඹලා


 

කොළඹට නුදුරු නගරයක, ගාලූපාර ආසන්නයේ පිහිටි වෛද්‍ය වෘත්තිකයන් පුහුණු කිරීමේ ආයතනයක් තුළ පසුගිය මැතිවරණ දිනයේ රාතී‍්‍ර කිසිවෙක් ඝාතනය කර ඇති බවට ලැබුන ආරංචියක් නිසා මහත් කලබලයක් නිර්මාණය විය.

මෙම ආයතනයේ සේවයට පසුගිය දිනක නවක පෞද්ගලික ආරක්‍ෂක නිලධාරියෙක් පැමිණියේය. ඔහු මෙම ආයතනයට මුලින්ම සේවයට වාර්තා කළේ මහ මැතිවරණය පැවති දිනයට පෙර දිනයේය. මේ පුහුණු මධ්‍යස්ථානයේ ප‍්‍රධානියා නවක ආරක්‍ෂක නිලධාරියා ඉතා සුහදව පිළිගෙන ඔහුට මේ ආයතනය තුළ ආරක්‍ෂාව සැපයීමේදී සැලකිලිමත් විය යුතු කාරනා පිළිබඳව පැහැදිලි කිරීමක් කළේය. ආයතනයේ හතර මායිමද පෙන්නුවේය.

යම් ප‍්‍රශ්නයක් වේ නම් තමන් අමතන ලෙසට ජංගම දුරකථන අංකයද ලබාදුන්නේය. මැතිවරණ දිනයේ සවස වේලාසන ආයතනය වසා දැමූ අතර ඉන්පසු එහි සිටියේ මේ ආරක්‍ෂක නිලධාරියා පමණි. මැතිවරණය නිසා ආයතන සියල්ලම පාහේ සවස් වනවිට වසා දමා තිබිණ. කඩ බොහොමයක් වසා දමා තිබුණු අතර තේ කඩයක් දෙකක් පමණක් විවෘතව තිබිණ. වට පිටාව බැබූ විට පවතින්නේ සුසාන භූමියක වැනි පාළුවට ගිය බවකි. ඉඳහිට යන වාහනයක් දෙකක් නොවන්නට පාරම පාළුවට ගොස් ඇත.

මේක මහා මූසල පෙනුමක් යැයි නවක ආරක්‍ෂක නිලධාරියාට හැඟිණ. මෙහෙම පාළු පාරක් දිහා බලාගෙන ඉන්නවාට වඩා හොඳයි මේ බිල්ඩිම වටේ ඇවිදලා එනවා යැයි සිතූ ආරක්‍ෂක නිලධාරියා රාතී‍්‍ර අටට පමණ ගොඩනැගිල්ලේ ඉහළ මාලයට නැඟුණේය. සියලූ දොර, ජනෙල් වසා තිබේදැයි විදුලි පන්දම් ගසා පරීක්‍ෂා කර බැලූවේය. මේ අතර එක කාමරයක වීදුරු ජනේලයට විදුලි පන්දම එල්ල කරද්දි ඇතුළේ කිසිවකු ඉන්නවා ඡායාවක් මෙන් පෙනුණි.

වඩාත් හොඳින් එය තහවුරු කර ගැනීම සඳහා හේ විදුලි පන්දම කාමරය තුළට යොමුකර එබී බැලූවේය. පුද්ගලයෙක් බිම වැටී සිටී. සියලූ දොර ජනෙල් වසා ඇත. ඔහු මේ වැටී සිටින පුද්ගලයාට කතා කිරීමට උත්සාහ කළේය. දොර ජනෙල්වලට ගසා කතා කළේය. එහෙත් මේ පුද්ගලයා කිසිදු කතාබහක් නැත. දෙයියනේ මේ මිනිහා මැරිලාවත්ද? නැත්නම් කවුරු හරි මරලා සද්ද නැතුව දොර වහලා ගිහින්ද? අපොයි මට තමා මේවට උත්තර දෙන්න වෙන්නේ.

ආරක්‍ෂක නිලධාරියාගේ ඉහින් කනින් දාඩිය වැගිරෙන්නට විය. හේ වහා බිම් මහලට බැස වෙනත් ආයතනයක පෞද්ගලික ආරක්‍ෂක නිලධාරියකුට මේ බව කියා සිටියේය. ඔහුගේද උපදෙස් මත වහාම ආයතන ප‍්‍රධානියාට කතා කර පුවත සැලකර සිටියේය. ආයතන ප‍්‍රධානියා සිටියේ රූපවාහිනියෙන් මැතිවරණ ප‍්‍රතිඵල නරඹමිනි. තම ආයතනයේ ආරක්‍ෂක නිලධාරියා දැන්වූ පණිවුඩයෙන් කලබලයට පත් ආයතන ප‍්‍රධානියා මේ ගැන තම ආයතනයේ කළමනාකරුටද දන්වා පොලිසියටද දැනුම් දුන්නේය.

ආයතන ප‍්‍රධානියා පුහුණු මධ්‍යස්ථානයට එන විටත් ආරංචි කණ වැකුණු අවට බොහෝ පිරිසක් එහි ගේට්ටුව අසල රොක්ව සිටියහ. මැතිවරණයත් සමග කෙතරම් කාර්ය බහුල වුවත් පොලිසියද ඉතා ඉක්මනින්ම එහි පැමිණියේය.

වහා ආරක්‍ෂක නිලධාරියා පැවසූ කාමරය පරීක්‍ෂා කිරීමට පොලිසියත් සමග ආයතන ප‍්‍රධානියා, කළමනාකරු හා ආරක්‍ෂක නිලධාරියාද ඉහළ මහලට ගියහ. අදාළ කාමරයේ දොර හැර බැලූ විට එහි කිසිවෙක් බිම වැටී සිටිනු දැකිය හැකිවිය. එය දුටු කවුරුත් එකිනෙකාගේ මූණෙන් මූන බලා බිම බලාගත්හ. එහි වැටී සිටියේ සැබෑ මිනිසෙක් නොව වෛද්‍ය වෘත්තිකයන් පුහුණු කිරීමේදී උපයෝගි කරගන්නා ති‍්‍රමාණ රූපී ෆයිබර් මිනිස් ආකෘතියකි.