හිඟුරානේ නවරත්න සමරතුංග
දිනුමක් නැතිව ප්‍රතික්ෂේප වූ ලොතරැයි පත් පහක් රඹුටන් වෙළෙන්ඳකුට හිලව් කර රඹුටන් ගෙඩි දහයක් රැගෙන බසයක නැගී ගිය මගියෙකු ගැන අම්පාරේ ප්‍රසිද්ධ නගරයකින් වාර්තාවෙයි.
සිද්ධිය මෙසේය.
එම නගරයේ ඔර්ලෝසු කණුව අසල මංසන්ධියේ ලොතරැයි පත් අලෙවි කරන නියෝජිතයෙකු සිටින අතර, ඔහුගේ සහායක අලෙවි කරු ඒ අසලම ඇති දුරගමන් සේවා බස්මගී ආවරණයක් අසල ලොතරැයි කුටියක සිට දෛනිකව ලොතරැයි පත් අලෙවි කරයි.
පසුගියදා එක් උදෑසනක ප්‍රධාන අලෙවි නියෝජිත ලොතරැයි කුටිය වෙත පැමිණි බස් මගියෙකු ඔහු මිලදීගෙන තිබුණ ලොතරැයි පත් පහක් ගෙන ප්‍රතිඵල සටහන සමඟ සසඳා බැලීය.
ඒ අනුව ඒවාට එකදු දිනුමක්වත් නැති බව තහවුරු විය. ඉන්පසු ඔහු එම ටිකට්පත් පහ කමිස සාක්කුවේ දමාගෙන අනිත් පස ලොතරැයි කූඩුව වෙත යන අයුරු පුද්ගලයෙකු දැක ඇත. බස් මගියා අනිත් ලොතරැයි කූඩුව වෙත යනවිට එහි අලෙවි කරු පැමිණ නොසිටි බැවින් එය වසා තිබිණි.
එහෙත් එම ස්ථානයේම රඹුටන් වෙළෙන්දෙකු මේසයක් මත රඹුටන් තොගයක් තබාගෙන අලෙවි කරමින් සිටියේය.
බස් මගියා ඔහුවෙත සමීපවී “මාමා මගේ ළඟ තියෙනවා ඊයේ මෙතනින් ගත්ත ස්වීප් ටිකට් පහක්! තවම මේක ඇරලා නෑ! පානදුර බසය දැන් එනවා. ඔයා මේ ටිකට් පහ තියාගෙන දිනුමක් තියෙනවාද බලන්න! දිනුමක් තිබුනොත් කීය වුණත් අරගන්න. මේ කුටියේ ඉන්න කෙනා මම අඳුනනවා. මේවායේ මුදලට හරියන්න මට රඹුටන් ගෙඩි දහයක් දෙන්නැයි” ඉල්ලා සිටියේය.
මෙහිදී රඹුටන් වෙළෙන්දා තරමක් අදිමදි කළ නමුත් ඔහු බලෙන්ම රඹුටන් ගෙඩි දහයක් ගමන් මල්ලට දාගන්නාවිට බසය එහි පැමිණියේය.
“මාමා.... ටටා! බායි !බායි!” කියද්දී බසය පිටත් විය.
ඒ සමගම ලොතරැයි කුටියේ අලෙවි කරු පැමිණි අතර එදිනට නියමිත ප්‍රතිඵල සටහන සමඟ ටිකට් පත් පරීක්ෂා කළ විට කිසිදු දිනුමක් එම ලොතරැයි පත්වලට නොමැති විය.
ඒ සමඟම එතැනට පැමිණි අයෙකු එම බස් මගියා අනෙක් ලොතරැයි කූඩුවෙන් ප්‍රතිඵල බලා දිනුමක් නැති ටිකට්පත් පහක් රැගෙන මෙම ස්ථානයට රැගෙන එනු තමන් දුටු බව රඹුටන් වෙළෙන්ඳාට පැවසීය.