කෑගල්ල අධිකරණ චමින්ද වැවතැන්න
“නංගිට කැමැති කසාදයක් කර ගන්න ඉඩ හැරියා වගේම තමන්ටත් ඕනෑ කසාදයක් කර ගන්න ඉඩ හරින්නේ නෑ” යැයි වයෝවෘද්ධ යුවළක් නිවසේ තනිකර දමා ගොස් ඇතැයි කියන අපූරු දියණියක පිළිබඳ පුවතක් කෑගල්ල ප්‍රදේශයේ ග්‍රාමයකින් වාර්තා වෙයි.
වාර්තා වෙන අන්දමට සිද්ධිය සැකෙවින් මෙසේය.
කෑගල්ල ප්‍රදේශයේ මවුපිය යුවළකට ගැහැනු දරුවෝ දෙදෙනෙක් සිටිති. වැඩිමහල් දියණිය දැනට වයස අවුරුදු 43 කි. ඇය අවිවාහකය. බාල දියණියට අවුරුදු 36 කි.
43 හැවිරිදි වැඩිමහල් දියණිය වසර හයක කාලයක් යුරෝපා රටක ගෘහ සේවිකාවක ලෙස සේවය කරන කාලයේ දී කටුමැටියට තිබුණු මහ ගෙදර නිවස ඇගේ මුදල් වලින් නවීන පන්නයේ ආකාරයට ඉදි කෙරිණ.
මෙම නිවසේ මවුපියන් සමග දියණියන් දෙදෙනා පදිංචිව සිටින අවස්ථාවේ දී වැඩිමහල් දියණිය අල්ලපු ගමේ සුළු වෙළඳාමක් සිදු කරන පුද්ගලයෙකු සමග ප්‍රේම සම්බන්ධතාවක් ඇති කර ගත්තාය. බාල දියණිය මුහුණු පොතෙන් දැරණියගල ප්‍රදේශයේ තරුණයකු හඳුනාගෙන මවුපියන්ගේ කැමැත්ත පරිදි විවාහ වී මනාලයාගේ දැරණියගල නිවසේ පදිංචියට ගියාය.
“නංගි යාන්තම් කොල්ලෙක් හොයාගෙන කසාදයක් බැඳලා ගියා. මම වයසට යනවා කසාදයක් කර ගන්න බැරි වෙයි ගෙදරත් කවුරුත් නෑ. “වැඩිමහල් දියණිය අල්ලපු ගමේ පදිංචිව සිටින සුළු වෙළෙන්දා විවාහ කරගෙන නිවසේ නතර කර ගැනීමට මවුපියන්ගෙන් කලකට ඉහත දී විමසුවාය. වැඩිමහල් දියණිය කළ ඉල්ලීම මවුපියෝ ඉවත දැමූහ.” ඒ මනුස්සයා උඹට ගැළපෙන්නේ නෑ මහ බේබද්දෙක්” යැයි මව කීවාය.
“එහෙනම් හොඳ මනුස්සයෙක් හොයලා දෙන්න මගේ වයස දැන් 43 යි. වැඩිමහල් දියණිය කීවාය.” අපට දැන් උඹට මනමාලයෝ හොයන්න බෑ වයසයි. ගැළපෙන කෙනෙක් ඈතකින් හොයා ගත්තා නම් හොඳයි. අපි දෙන්නත් තව එච්චර කාලයක් ඉන්නේ නෑ. මැරුණට පසුව උඹ තනි වෙනවා. උඹ දැන් ඔය හාදකම පවත්වන මනුස්සයාට අපි කැමැති නෑ. කසාද බැඳලා මෙහේ නතර කර ගන්න හදන්න එපා” යැයි මව පැවසුවාය.
“නංගිට කැමති එක කර ගන්න අම්මා ඉඩ හැරියා. මට ඕනෑ එක කර ගන්න දෙන්නේ නෑ. අම්මයි තාත්තයි ගෙදරට වෙලා ඉන්න. මම යනවා යන්න, යැයි පවසා වැඩිමහල් දියණිය ඉකුත් දා ඇඳුම් පැලඳුම් බෑගයක් ද සූදානම් කරගෙන නිවසින් බැස ගොස් ඇතැයි වාර්තා වෙයි.
දැනට මවුපියන් නිවසේ අසරණව සිටින බව වාර්තා වෙයි. කාන්තාව සුළු වෙළෙන්දා සමග කොළඹ ප්‍රදේශයේ කාමරයක් කුලියට ගෙන පදිංචිව සිටින බවට වාර්තා වෙයි.