ලෙඩකු බලන්නට රෝහලට ආ යුවළක් යතුරුපැදිය රෝහල් බිමේ නවතා ඒ බව ආරක්ෂක අංශයට දන්වා අන්තිමේ ඒ බව අමතකව ත‍්‍රිරෝද රථයකින් නිවෙසට ගිය පුවතක් ගම්පහින් වාර්තාවේ. තරමක් වයසක යුවළකි.
සවස පහට පමණ රෝහලට ආ මේ දෙන්නා යතුරුපැදිය රෝහල් බිමේ නැවැත්වූහ. ඔවූහු ආරක්ෂක හිස්වැසුම් දෙක ගලවා එහි එල්ලා අසල සිටි ආරක්ෂක නිලධාරියාට කතා කළහ.
මහත්තයා අපි දෙන්නා ලෙඩෙක් බලන්න යනවා, මෝටර් සයිකලේ මෙතන තිබිච්චාවේ ටිකක් බලාගන්න පිරිමියා ඉල්ලා සිටියේය. ආරක්ෂක හිස් වැසුම් දෙක අරගෙන යන්න, ඒක කෝකටත් හොඳයි ආරක්ෂක නිලධාරියා පැවසුවත් මහත්තයාලා ඉන්නවානේ ඒකත් තිබුණාවේ කියා යුවළ රෝහලට ගියහ.
ලෙඩුන් බලන වේලාව අවසන්ය. යතුරුපැදියේ ආ යුවළ ආවේ නැත. ආරක්ෂක මුරයට ඊළඟට ආ යුතු නිලධාරියාත් ආවේය. පළමු ආරක්ෂකයා සිද්ධිය ඔහුට ද දන්වා ආරක්ෂක හිස්වැසුම් දෙක පොලිස් මුරපොළට බාරදුන්නේ සියල්ල පවසමිනි. කෙසේ වෙතත් යතුරුපැදිය ගැන ඇහැ ගහගෙන ඉන්නට ආරක්ෂක නිලධාරියාට සිදුවිය.
රාත‍්‍රි නවයට පමණ යතුරුපැදිය නවතා ගිය අය ත‍්‍රිරෝද රථයකින් රෝහලට ආවේ සිය පුතු ද සමඟය. අනේ මහත්තයෝ මට මෝටර් සයිකලේ අමතක වුණා. ත‍්‍රීවීල් එකෙන් ගෙදර ගියා. නෝනවත් මොකවත් කිව්වේ නැහැ. පුතා ගෙදර ඇවිත් බයිසිකලේ හොයද්දීත් මට මේ බව මතක් වුණේ. වරදක් වුනා නම් සමාවෙන්න කියා ඔහු බැගෑපත්වූයේය.
ආරක්ෂක නිලධාරියා මේ අය පොලිස් මුරපොළට යොමු කර අනන්‍යතාව පරීක්ෂා කර බලා යතුරුපැදිය බාරදීමට පියවර ගත් අතර ඔහු යළි නිවෙසට යද්දී රාත‍්‍රි දහයත් පසුවී තිබිණි.

