(හෙට්ටිපොළ - ධම්මිකා බාලසූරිය)
වඩෙත් එක්ක ලූනු ඉල්ලුවාට මුදලාලිට යකා නැග පාරිභෝගිකයකුට බැණ වැදුණ කතා පුවතක් පඬුවස්නුවර ප්‍රදේශයේ පොළකින් වාර්තා විය.

බැදපු වඬේ සමගින් කැපූ ලූනු කෑලි කිහිපයක් සහ බැදපු මිරිස් කරල් කිහිපයක් ලැබීම සාමාන්‍ය දෙයකි. නමුත් මෙම දිනවල ලූනු මිල ඉතා ඉහළ ගොස් තිබීම හේතුවෙන් වඩෙත් සමග ලූනු දීමට වඩ මුදලාලිට කිසිඳු හැකියාවක් නොතිබුණි.
වඩයක මිල රුපියල් පහකි, දහයකි. ලූනු කිලෝවක මිල රුපියල් හාර සියයකි. රුපියල් පහක, දහයක වඩයක් සමග ලූනු පෙති කිහිපයක් දීම කිසිසේත් කළ නොහැකිය.
පඬුවස්නුවර ප්‍රදේශයේ ඇති පුංචි පොළක වඩ ඇතුළු කෑම වර්ග විකුණන මුදලාලි කෙනෙක් විය. පොළ ආරම්භයේ සිටම වඩ මිලදී ගත් කිහිප දෙනෙකුම මුදලාලි අද ලූනු පෙති නැද්දැයි ඇසීය.
ලූනු මිල අධික ලෙස ඉහළ ගොස් ඇති නිසා වඩ මුදලාලිට ලූනු පෙති සමග වඩ දීමට කිසිදු හැකියාවක් නොමැත. වඩ මිලදී ගත් බොහෝ දෙනෙකු ලූනු පෙති ද දමා දෙන්නැයි ඉල්ලීමෙන් වඩ මුදලාලිට යකා නැග්ගේය. ‘මම ලූනු නෙමෙයි වඩ විකුණන්නේ. කැමති නම් අරන් යනවලා නැත්තං වඩ ටික දාලා යනවලා’ යැයි මුදලාලි පාරිභෝගිකයකුට හයියෙන්ම පැවසීය.
‘ඇයි දෙයියනේ මං ඉඩ කඩන් විකුණලා මුන්ට ලූනු කවන්න’ යැයි මුදලාලි බැන වැදුණේ පොළේ සිටි අන් අයට ද ඇසෙන පරිදි කෑ ගැසීමෙනි.

