ලියුම් කැබැල්ලෙන් ඉහමොළ රත්වෙලා


බලංගොඩ වයි.ඵ්.ඵස්. වීරවංශ


ඇය විවාහ වී සිටියේ ස්ථිර ආදායම් මාර්ගයක් නොමැති පුද්ගලයෙකු සමගය. ඇයට සහ ඔහුට දාව දරුවන් දෙදෙනෙකි. නිවසද යන්තම් අටවා ගත් එකකි. මේ වැඩේ හරියන්නේ නැහැ මම රටවත් ගිහිල්ලා රස්සාවක් කරලා කීයක් හරි හොයා ගෙන ගෙයක් දොරක් හාදා ගනිමු ඇය දිනක් තම ස්වාමි පුරුෂයාට කීවාය. ඒ අනුව ඉතා කෙටි කලෙකින් ඇය විදෙස් ගත වුවාය.
වසර දෙකකට ආසන්න කාලයක් තම ස්වාමි පුරුෂයාට මුදල් එව්වාය. ඒ සියල්ල ඔහු කා බී විනාශ කළේය. වසර තුනක් පමණ ගත වන විට ඇය නිවසට දුරකථන ඇමතුමක් දුන්නාය. අසවල් දින මම ලංකාවට එනවා, වෑන් එකක් අරගෙන ගුවන් තොටුපොළට එන්න තම ස්වාමි පුරුෂයාට කීවාය. ඒ අනුව ඔහු ටිකක් ඈත පළාතක රියැදුරු මහතෙකු සම්බන්ධ කරගෙන වෑන් රථයකින් ගුවන් තොටුපොළට ගියේය.
ඇය නිවසට අවශ්‍ය බඩු මුට්ටු ටිකක් ගෙන විත් තිබිණි.


අතර මඟදී ඇය විදේශ රටින් ගෙන ආ ඉස්තරම් වර්ගයේ මත් පැන් බෝතලයක් තම ස්වාමි පුරුෂයාට දුන්නාය. ඔහු ගොස් තිබූණේ තම හිතවත් මිතුරෙකු සමගය. දෙදෙනා මත්පැන් බෝතලය හිස් වන තුරුම පානය කළහ.
මේ අතරතුර රියැදුරු සහ ඇය අතර ඉතා කෙටි වේලාවක් තුළ ළෙන්ගතු ඇසුරක් පටන් ගැණිනි. පැය ගණනාවකින් පසු ඇය පදිංචි නිවසට පැමිණියාය. ස්වාමි පුරුෂයාට සහ මිතුරාට හොඳටම වෙරිවී තිබිණි. වාහනයෙන් බැස්සේ ද ඉතා අමාරුවෙනි. ඔවුහු දෙදෙනා ඇඳට ගොස් නිදා ගත්හ. ඇය අතර මගදී ළෙන්ගතු වූ රියැදුරු සමග රාත්‍රියේම යන්න ගියාය. එළිවෙන යාමේ ස්වාමි පුරුෂයාට ඇහැරිනි. මේසය මත ලියුම් කැබැල්ලකි.
‘‘මම අර රියැදුරු අයියත් එක්ක ගියා. ඔයා දරුවෝ බලා ගෙන හොඳින් ඉන්න...’’ ඔහුගේ ඉහමොළ රත් විය. කර කියා ගන්න දෙයක් නොමැතිව දස අතේ කල්පනා කළේය.