ලක්ෂ 32 ක රන් බඩු කුණු ලොරියට දන්දීලා


හාරිස්පත්තුවේ මොහොමඩ් ආසික්
නිවසේ  සියලු‍ දෙනාට අයත්ව තිබූ  රුපියල් ලක්ෂ තිස් දෙකක් පමණ  වටිනා  ස්වර්ණාභරණ  වැඩි ආරක්ෂාව සඳහා පියා විසින් මුළුතැන් ගෙයි බඳුනක සඟවා තිබියදී දියණිය එම බඳුන රන් භාණ්ඩද සමඟ කසළ එකතු කරන ලොරි රථයට බාර දීමේ පුවතක් කන්ද උඩරට ප්‍රදේශයේ ප්‍රධාන නගරයකින් වාර්තා වෙයි.
සිද්ධිය සැකෙවින් මෙසේය.
කටුගස්තොට පොලිස් බල ප්‍රදේශයේ පිහිටි මෙම නිවෙසේ මව, පියා සහ දියණිය පමණක්  සිටිති. 
පසුගිය දිනෙක පියාට සහ මවට හදිසි ගමනක් යාමට සිදුවී ඇති අතර  එම අවස්ථාවේ නිවෙසේ දියණිය පමණක් තනි කර යාමට ඔවුන්ට සිදුවී තිබිණ. 
මේ දිනවල සොර සතුරන්ගේ කරදර ගැන විශාල වශයෙන් කතා බහට  ලක් වන බැවින් පියා තම නිවසේ ඇති රන් භාණ්ඩවල වැඩි ආරක්ෂාව සඳහා  සියලු‍ දෙනාගේ රන් භාණ්ඩ සියල්ල එකතු කර මුළුතැන්ගෙයි  ඇති කසළ බඳුන තුළ සැඟවුවත් ගමන යාමට ඇති හදිසිය නිසා මේ බව දියණියට කීමට  පියාට අමතක වී තිබිණ.


දියණිය එදින දහවල්  කසළ එකතු කිරීම සඳහා පැමිණි ලොරි රථයට එම කසළ බඳුන ලබා දුන්නේ එහි තම නිවසේ  සියලු‍ දෙනාගේම රුපියල් ලක්ෂ 32 කට වඩා වටිනා රන් භාණ්ඩ ඇති බවට හාංකවිසියක් වත් නොදැනය. සවස් කාලයේ පියා සහ මව නිවසට පැමිණි පසු සියල්ල හෙළි වෙද්දී සියලු‍ දෙනාට හීන්දහදිය දැමීමට පටන් ගත්තේය. 
පොලීසියටද පැමිණිලි කර මේ සම්බන්ධයෙන් සොයා  බැලු‍වද එම ස්වර්ණාභරණ සම්බන්ධයෙන් කිසිදු තොරතුරක් සොයා ගැනීමට නොහැකි විය‍. 
වැඩි ආරක්ෂාව සඳහා කළ උපක්‍රමයම හරහට සිට ඇති බව ඔවුහු නිතරම කියති.