- පදවිය පියදාස සමරවීර
රොටී දන්සලක දී කතක තම නිවසේ සිටින වයෝවෘද්ධ මවට හා පුතුට රොටි දෙකක් ඉල්ලූ අවස්ථාවේ එහි සංවිධායකවරයකු කළ අමුතුම විදියේ ඉල්ලීමකින් කාන්තාව දැඩි අපහසුතාවට පත් වූ පුවතක් ශ්‍රීපුර පලුගස්වංගුව ප්‍රදේශයෙන් වාර්තා වේ.
පොසොන් පෝය නිමිති කරගෙන ප්‍රදේශයේ පැවැති දන්සල් අතරේ පලුගස්වංගුව ප්‍රදේශයේ රොටි දන්සලක් ද විය. ජනතාව පෝලිම්වල රැඳෙමින් දන්සලට සහභාගි වූයේ රොටි ලබා ගැනීමටය.
මේ අතර තරුණ මවක් ද තම යෙහෙළියන් සමග පෝලිමේ රැඳෙමින් තම අවස්ථාව ආ විගස දන්සලෙන් එක රොටියක් ලබා ගත්තාය. මේ අවස්ථාවේ තරුණ කාන්තාව ‘අනේ මට තව රොටී දෙකක් දෙන්නැයි ඉල්ලුවේ බැගෑපත් අයුරෙනි.
එහෙම රොටී දෙන්න බෑ.
ඒ මොහොතේ වහා ක්‍රියාත්මක වූ දන්සල් සංවිධායකවරයකු පැවැසුවේ තරමක් උස් හඬිනි.
තම නිවසේ සිටින වයෝවෘද්ධ මවට හා පුතුට අරන් යාමට රොටී දෙකක් දෙන ලෙස ඇය යළිත් ඉල්ලා සිටියාය.
එහෙනම් ග්‍රාම සේවකගෙන් පවුල් ලැයිස්තුව ඉල්ලා ඉදිරිපත් කරන්නැයි සංවිධායකවරයා සඳහන් කළේ කලින්ටත් වඩා උස් හඬිනි.
විශාල පිරිසක් ඉදිරිපිට සංවිධායකවරයා සිදුකළ ප්‍රකාශයත් සමග ලජ්ජාවට පත් කාන්තාව එතැනින් යෙහෙළියන් සමග ඉවත්ව ගොස් ඇති අතර පසුව හෝ රොටී දෙකක් එම තරුණ මවට දීමට තරම් සංවිධායකවරුන් සිත් පහළ නොවී ඇතැයි ද එහි පැමිණ සිටි ජනතාව කීහ.