රේල් පාරේ පෙම් රැඟුමට මාළු ලේ ප‍්‍රහාරයක්


දුම්රිය මාර්ගයේ අශෝභන ලෙස හැසුරුණු තරුණ යුවළකට අසල්වැසි කාන්තාවක් කියා දුන් අපූරු පාඩමක් පිළිබඳ පුවතක් දකුණේ ප‍්‍රධාන නගරයකින් වාර්තා වේ. මුහුදුබඩ දුම්රිය මාර්ගයේ පිහිටි ප‍්‍රධාන නගරයකි.

ප‍්‍රධාන පාසල් කිහිපයක්ම මේ නගරයේ තිබේ. සෑම දිනකම පාහේ සතියේ දිනවල පස්වරුවේ දී සහ නිවාඩු දිනවල උදයවරුවේ මුහුදු බඩ දුම්රිය මාර්ගයේ පාළු තැනක ඇති මේ ස්ථානයට තරුණ ජෝඩුවක් පැමිණෙති. වැඩිය කාත් කවුරුවත් නොගැවසෙන බැවින් ඔවුහු මේ ස්ථානයේ අශිලාචාරව පෙම් ජවනිකා රඟ දක්වති.

මේ ස්ථානයේ දුම්රිය මාර්ගය අයිනේ තිබුණේ එකම එක දෙමහල් මන්දිරයක් පමණි. මේ නිවසේ කාන්තාව මෙසේ නොහැසිරෙන ලෙස මේ තරුණ ජෝඩුවට කිහිප දිනක්ම කීවත් ඒ හැම අවස්ථාවකදීම ඔවුන් කීවේ දුම්රිය මාර්ගය කාටත් පොදු තැනක් බවත් ඒ නිසා තමන් මේ ස්ථානයේ කොහොම හැසුරුණත් කාටවත් වැඩක් නැති බවත්ය. මෙයින් කෝපාගිනිව දැල්වෙමින් සිටි මේ කාන්තාව මේ දෙදෙනාට අවවාද කොට ඵළක් නැතැයි සිතා හොඳ දඬුවමක් දිය යුතු යයි කල්පනා කරමින් සිටියාය.

ඒ සඳහා හොඳ දඬුවමක් ගැන සිහියට ආවාය. එදා දිවා කාලයේ දී සිය නිවසට ආහාරය සඳහා ගෙනවිත් තිබූ මාළු කපා එම මාළු ලේ ඉවත නොදමා භාජනයකට දමා තිබ්බාය. සුපුරුදු පරිදි එදින ද මේ ජෝඩුව ඇයගේ නිවස ඉදිරිපිට දුම්රිය මාර්ගයේ ඇසැබි පෙම් ජවනිකා රඟපාමින් සිටියහ.

දිවා කාලයේ දී භාජනයකට දමා තිබූ මාළු ලේ උඩු මහලේ සිට ඇය මේ ජෝඩුවට ද වදින සේ දුම්රිය මාර්ගයට දැමුවාය. මෙයින් කෝපාවිශ්ඨවූ මේ ජෝඩුව මාළු ලේ විසි කළ ඇයට බැන වැදුනහ. එවිට ඇය ඇඟපතට නොදැනී ”මම මාළු ලේ විසිකළේ රේල් පාරටනේ. ඒකට කාටවත් කතා කරන්න බැහැ.

අනෙක් කාරනාව රේල්පාරේ මගීන්ට ඉන්නත් තහනම්නේ” යයි කීවාය. මේ කතාවෙන් පසු හිමින් ලිස්සා ගිය මේ තරුණ ජෝඩුව එදා සිට තවත් මේ ස්ථානයට ඇසැබි පෙම් සුව විඳින්නට නොආබව ද පැවසේ.