රූමත් ලිපිකාරිනිය බස් ටිකට් එකතු කර සැමියාගේ කනෙන් රිංගලා


(තිහගොඩ උපසේන ලියනගම)

ඇය විවාහක රූමත් ලිපිකාරිණියකි. කාර්යාලයට පැමිණි හැම දිනකම එකිනෙකාගේ බස් ටිකට් එකතු කිරීම ඇගේ විනෝදාංශය බව වැඩි දෙනෙක් දැන සිටියහ. ඇය මේ ආකාරයට එකතු කළේ කොන්දොස්තර ටිකට් මැෂිමෙන් නිකුක් කළ ඒවා නොව අතින් ලියූ ඒවා වීම ද විශේෂත්වයකි.

මෙසේ ටිකට් පත් එකතු කිරීම ගැන කාර්යාලයේ අයට විශේෂයක් නොවූවත් හිතවත්ම යෙහෙළියට මෙය ගැටලූවක් වූයෙන් ඒ ගැන විමසූවිට ඇය දුන් පිළිතුරෙන් යෙහෙළියට තරු පෙනිණි.

”මගේ මහත්තයට මං ගැන හරි සැකයි බං. හැමදාම මට කියන්නෙ වැඩට යන එනකොට එක එකාගෙ සයිකල්වල් කාර්වල යන්න එපා කියලයි. මම වැඩ ඇරිල ගෙදර ගිය ගමන් බස් ටිකට් දෙක පෙන්නන්න  ඕන. හැමදාම බස් එකේ යන්න පුළුවන් ද බං. මං අහුවුණ එකේ යනව එනව. ඒත් කොහොම හරි බස් ටිකට් දෙක එයාට පෙන්නනව. ඒකයි.” ඇය කීවේ කපටි සිනාවක් මුහුණට නංවා ගනිමින්ලූ.