රු. 20 ණයට බේත් අරන් දාහක් දී කළගුණ සලකලා


ෆාමසිය විවෘත කළා පමණි. අති සුඛෝපභෝගි රථයකින් පැමිණි මහතෙක් බෙහෙත් තුණ්ඩුවක් කවුන්ටරයේ සිටි තරුණියට දී ‘‘මේ බෙහෙත දෙන්නැයි’’ පැවසීය.


ඇය බෙහෙත දුන් විට හෙතෙම රුපියල් දහසේ නෝට්ටුවක් දිගු කළේය.


‘‘අනේ සර් දාහක් මාරු කරන්න නම් නැහැ. ගාන රුපියල් විස්සයි’’ ඇය පැවසුවාය.


‘‘අනේ ළමයෝ මා ගාව තියෙන්නේ ඔක්කෝම දාහේ කොළ. මට මේ බෙහෙත උදේට බොන්නත්  ඕනේ’’ මොකද දැන් කරන්නේ යනුවෙන් විමසූවිට ඇය පැවසුවේ ‘‘සර් කොහෙන් හරි මාරු කරන් එන්න මම බෙහෙත අරන් තියන්නම්’’ යනුවෙනි.


‘‘මම මේක කොහෙන් මාරු කරන්න ද අනෙක උදේම නේ’’ මහතා පැවසූ විට එතැනට පැමිණි සේවක තරුණයෙක් ‘‘මොකක්ද ප‍්‍රශ්නෙ’’ යනුවෙන් විමසීය. තරුණිය කාරණය පැවසුවාය. එවිට ඔහු


‘‘සර් බෙහෙත අරන් යන්න මේ බෙහෙත උදේම ගන්නත්  ඕනේ’’ සල්ලි පස්සේ දෙන්න යැයි පවසා ඖෂධය දීමට කටයුතු කළේය.


අනේක වාරයක් ස්තුති කළ මහතා පිටව ගියේය. පැයක් ඇතුළත ඔහු පැමිණ තරුණයාට රුපියල් විස්සදී රුපියල් දහසක්ද තරුණයා අත තබා ‘‘මේක මට බෙහෙත ගන්න උදව් කළාට’’ යැයි පවසා වාහනයට ගොඩවිය. එතැන සිටි පුද්ගලයෙක් ‘‘ඔය මහත්තයා ගොඩක් මහන්සියෙන් දියුණු වුණ කෙනෙක්. දැන් කෝටි පතියෙක්.’’ යැයි පැවසීය. බෙහෙත නිකුත් කළ තරුණියට එය ඇසී ‘‘අපරාදේ මට උදේ බෙහෙත් ටික දෙන්න තිබුණේ එහෙනම් රුපියල් දාහ මටනේ’’ යනුවෙන් ශෝකයෙන් පැවසුවාය.
(ක‍්‍රිස්ටෝපර් සීපියන්)