රෑට රෑට වගාව කන හොරුන් රැළ අතේ මාට්ටු


අඹුසැමි යුවළකගේ එළවළු වගාවේ අස්වැන්න සොරකම් කළ අපූරු සොරුන් කණ්ඩායමක් පිළිබඳව දකුණු පළාතේ ග්‍රාමීය ප්‍රදේශයකින් වාර්තාවේ.


ග්‍රාමීය ප්‍රදේශයක ජීවත් වූ අඹු සැමි යුවළ සිය ජීවිකාව සඳහා විවිධ බෝග වර්ග වගා කළහ. දූදරුවන් කිහිපදෙනකු සිටින මෙම යුවළ සිය වගාබිම්වල  වැටකඩුලු‍ බැඳ කිසිවෙකුටත් ඇතුල්විය නොහැකි වන පරිදි ආරක්ෂා කිරීමට සෑම අවස්ථාවකම වගබලාගත්හ.

වගාවන්ගෙන් ලබන අස්වැන්න අසල්වැසියන් සමගද බෙදා හදාගෙන ආහාරයට ගැනීම සහ අලෙවි කිරීම සිදු කළහ. සියලු දෙනා ඔවුන්ට දැඩි ලෙන්ගතුකමක් දක්වමින් වගාවට අවශ්‍ය දිරිගැන්වීම්ද ගම්වැසියෝ සිදු කළහ.


වම්බටු සහ කැකිරි වගා කිරීම මහ කන්නයේදී සිදුකළ අතර සරුවට වැවුණු බෝගවල හොඳ පලදාවක්ද දක්නට ලැබිණි. දිවා කාලයේදී සැමියා බොහෝ අවස්ථාවල එළවළු කොරටුවේ  කාලය ගත කළේය. පෙර දින හේනේ තිබූ වම්බටු සහ කැකිරි පසුදින හේනට යන විට නොමැති බව ගොවි මහතා දුටුවේය. දින කීපයක්ම මෙලෙස හේනේ අස්වැන්න සොරුන් කඩාගෙන ගොස් තිබුණි. රාත්‍රි කාලයේ හේනේ ඇති පැලේ කාලය ගතකළත් අස්වැන්න දිවා කාලයේ සොරකම් කිරීම සිදු කෙරිණි. සොරුන් අල්ලා ගැනීමට ක්‍රමයක් කල්පනා කළ අඹු සැමි යුවළ දෙවියන්ටද කීහ. පසු දින දහවල් හේනට යන විට දෙවියන්ට කීමට සාදන ලද පහන් පැල්ද කඩාදමා තිබුණි.


සොරකම පිළිබඳව ගම්මුලාදෑනිවරයාටද පැමිණිලි කළේය. අහිංසක මිනිසෙකුට සිදුකරන හිරිහැරය පිළිබඳව සොයා බැලීමට ගම්මුලාදෑනිවරයා ගොවි මහතා සමග හේනට යන විට සොරුන් කණ්ඩායම අතටම අසුවිය. හේනට ඇතුල්වන දෙදෙනා දුටු රිළා රංචුවක් කැකිරි සහ වම්බටු ගෙඩිද රැගෙන පැන ගියහ. රාලහාමි රාජකාරියක් අවශ්‍ය නැහැ හොරු අතටම අසුවුණා යැයි ගොවි මහතා පැවසීය. ‘‘“මාමේ හේනට හොරු අාවේ නැද්ද’’ යනුවෙන් ගමේ තරුණයන් විමසන විට ගොවි මහතා ලුණු ඇඹුල් ඇතිව උත්තර දෙන බවද පැවසේ.

හක්මණ විශේෂ දෙනගම යසන්ත ආරියසේන