සුනඛයකු නිසා කසාදයක් බිඳ වැටීමට ගිය පුවතක් පසුගියදා නාඋලින් වාර්තා විය.
සිද්ධිය මෙසේය.
නාඋලට නුදුරු ගම්මානයක ඉතා සන්තෝසෙන් ජීවත් වූ කුඩා පවුලකි.
ස්වාමියා දිනපතා නිවසින් පිටව ගොස් විවිධ රැකියා කරමින් වසර ගණනාවක් තිස්සේ සිය පවුල පෝෂණය කිරීම සිරිතක් කරගෙන සිටියේය.
ඉඳ හිට හෝ ඇඟේ පතේ අමාරුවට හීනියට සප්පායම් වන හේ නිවසේ කිසිවකුටත් එය බාධාවක් වන සේ හැසුරුණේ නැත.
කලක් ගත වෙද්දි සිය බිරිඳට අනියම් සම්බන්ධයක් ඇති බව හිතවත් පිරිස් කීවත් ඔහු ඒ සම්බන්ධයෙන් කිසිවක් නොඇසුණු ගානට හිටියේ බිරිඳ පිළිබඳව පවත්නා දැඩි විශ්වාසය නිසාය.
දින කිහිපයක් තිස්සේ රාත්රියේ ඉදිරිපස දොරට යමෙකු තට්ටු දමන බව පසක් වූයේ සැමියා ද යම් කුකුසකින් පසුවන අතරතුරය.
බිරිඳට කිසිත් නොඅඟවා සිටි සැමියා ද පාරම්බා සිටියේ ගෙදරට එන එකා මොකාද යන්න අතටම අල්ලා ගැනීමටය. කෙසේ හෝ වෙනදා සුපුරුදු ලීලාවෙන් නිවසට පැමිණි සැමියා යම් යම් නෝක්කාඩු වචන කියමින් යම් යම් ඉගි පල කළේ රෑට රෑට නිවසේ ඇසෙන දොරට ගහන ශබ්දය පිළිබඳව බිරිඳට යම් ඇඟවීමක් කිරීමේ අරමුණිනි.
‘‘අනේ අල්ලගන්නවකෝ, මොකෙක්වත් මාව හොයාගෙන එන්නේ නෑ, තමුසෙගේ සැකේ දුරුවෙන්නත් එක්ක.’’
වෙනදා සුපුරුදු ලෙස මැදියම් රැය වෙද්දි නිවසට තට්ටු දමන හඬ ඇසුණු හෙයින් දෙන්නා දෙමහල්ලෝ දරුවන්ට නොඇසෙන අයුරින් ආඩපාලි කියා ගත්තේ තරමක් කේන්තියෙනි.
කෙසේ නමුත් වරින් වර ඇසෙන තට්ටු දමන හඬ බොහෝ වේලාවක් පවතිද්දී සැමියා හොඳ කළුවර පොල්ලක් අතැතිව පිටිපස්සා දොරොන් හිමිහිට එළියට ගියේ ගෙදර ඇවිත් තට්ටු දාන එකා මොකා ද යැයි සක් සුදක් සේ දැන ගැනීමටය.
පිළිකන්නේ සිට ඉදිරි පස දොර ආසන්නයට කළුවරේම පැමිණි ඔහුට කිසිවෙකුත් දක්නට නොලැබුණි. බොහෝ වෙලාවක් ඉදිරිපස දොරටුව දෙස පොල්ල ද අමෝරාගෙන හේ බලා සිටියේය.
දොර ආසන්නයේ වෙනදා මෙන් වැතිර සිටි බලු තඩියා මේ බැව් දැක වෙනදා ලෙන්ගතු කම පාමින් නගුට වැණුවේය. ‘ටක් ටක් හඬ නන්වමින් දොරෙන් ශබ්දයක් පිටවිය.
සිදුව ඇති කාරණාව හොඳින් අවබෝධ කරගත් සැමියා බිරිඳ නිදි අතරේ හොරෙන්ම ගෙට පැමිණ හීන් සිරුවේ ඇය ආසන්නයෙන්ම නිදා ගත්තේ හිත තුළ උපන් ලැජ්ජාවත් සමගය.
නාඋල - ඉන්දික අරුණ කුමාර