රැ දොළහට පෙම්වතියට කෝල්කර පොලිස් කුඩුවෙත් ලගින්න වෙලා


හාරිස්පත්තුවේ මොහොමඩ් ආසික්
මධ්‍යම රාත්‍රී දොළහට පමණ කසිප්පු බෝතලයක් බී පෙම්වතියට පරුෂ වචනයෙන් දුරකථනයෙන් බැන වදිමින් සිටි පෙම්වතකුට පොලිස් කූඩුවේ ලගින්නට වීමේ සිද්ධියක් වාර්තා වේ. 
කටුගස්තොට පොලිසියේ දූෂණ මර්දන අංශයේ නිලධාරීන් පසුගියදා රාත්‍රී කාලයේ මුර සංචාරයේ යෙදී සිටියදී මහනුවර මාවිල්මඩ ප්‍රදේශයේ මාර්ගයක් අයිනේ ත්‍රිරෝද රථයක් තුළ සිටි පුද්ගලයකු පරුෂ වචනයෙන් බනිමින් සිටිනු දැක ඒ ගැන සොයාබලා තිබේ. 
එහිදී පොලිස් නිලධාරීන්ට දැක ගන්නට හැකිව ඇත්තේ බෝතලයක පුරවා ගත් කසිප්පු බොමින් මෙම පුද්ගලයා දුරකථනය ඔස්සේ පරුෂ වචනයෙන් බැන වදිමින් සිටින බවයි. ඒ සම්බන්ධයෙන් තවදුරටත් ඔහුගෙන් කළ ප්‍රශ්න කිරීමේදී හෙළිව ඇත්තේ අවුරුදු 30ක් පමණ වන ඔහු සිය පෙම්වතිය හමුවීම සඳහා ඇයගේ නිවෙසට රාත්‍රී කාලයේ පැමිණ ඇති බවත් ඒ අවස්ථාවේ ඔහු අධික ලෙස කසිප්පු බී සිටි බැවින් පෙම්වතියගේ සොහොයුරන් ඔහු පන්නා ගෙන තිබෙන බවත්ය. 
ඉන් පසුව ඔහු පැමිණි ත්‍රිරෝද රථය මාර්ගයක් අයිනේ නවත්වා පෙම්වතියට දුරකථන ඇමතුමක් ගෙන බෝතලයේ ඉතිරිව තිබූ කසිප්පු බොමින් පෙම්වතියට සහ ඇගේ සොහොයුරන්ට පරුෂ වචනයෙන් බැන වදිමින් සිටියදී පොලිස් නිලධාරීන් එම ස්ථානයට පැමිණ තිබේ.


සැකකරු ළඟ තිබූ ලීටර් දෙක හමාරේ බෝතලයේ කසිප්පු මිලිලීටර් 750ක් ඉතිරිව තිබී ඇති අතර නීති විරෝධී මත්පැන් ළඟ තබා ගැනීමේ චෝදනාව මත ඔහු අත්අඩංගුවට ගැනුණ අතර සැකකරු මහනුවර මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතව සිටියේය.
කටුගස්තොට පොලිසියේ දූෂණ මර්දන අංශයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක සෙනෙවිරත්න මහතාගේ උපදෙස් මත උප පොලිස් පරීක්ෂක විජේසිංහ මහතා ඇතුළු නිලධාරීහු මෙම සැකකරු අත්අඩංගුවට ගත්හ.