රා ගැලූමක් කළ හදියක්


දකුණු පළාතේ දිස්ත‍්‍රික් මායිමකට ආසන්න නගරයක පිහිටි එක්තරා රජයේ කාර්යාලයක සේවක මහතකුගේ මාමණ්ඩියගේ අවමඟුල් උත්සවයකට සහභාගිවීමට ගිය පිරිසකට නොසිතූ සිද්ධියකට මුහුණපෑමට සිදුවූහ. 


උදෑසන නවයට පමණ මුහුදුබඩ ප‍්‍රසිද්ධ මාර්ගයේ ගමන්ගත් පිරිස අතුරේ යන ගමක සාමාජිකයකු මගදී එකතුවීමට නියමිතව තිබිණ. 


කථිකා කරගත් ස්ථානයට බසය පැමිණිය ද මිතුරා එතැන නොසිටියේය. ඔහුුගේ ජංගම දුරකතනයට පිරිසේ සගයකු ඇමතුමක් ගත්තේය. මිතුරා තවත් විනාඩි තිහක් පමණ පමාවන බව ඔහු පැවසීය. එතෙක් සියලූදෙනා වෙරළ දෙසට ගමන් කළහ. පිරිස වෙරළට ගොස් සුළු මොහොතකින් ප‍්‍රමාද වෙනවා යැයි කී මිතුරා බසයට ගොඩ වූයේ රා ගැලූමක් ද සහිතවය. ඔහු එය ඉඩකඩ සහිත ස්ථානයක ආසනයක් යටට තල්ලූ කළේය. 


නැවත ගමන් ඇරඹූ පිරිස මළගෙදරට ළඟාවන විට පස්වරු එක පමණ වී තිබිණ. සියලූදෙනාම අවමඟුල් උත්සව අවස්ථාව සඳහා සහභාගි වූහ. ඒ වනවිට රා ගැලූම පානය කරන තැන පිළිබඳව පිරිමි සගයන් අතර එකඟතාවක් ඇති කරගත්තේය. 


පිරිස මළගෙදර සිටින අතරේ එම ප‍්‍රදේශයේ තරුණයකු පාරේ යන ගමන් බසයට එබිකම් කළේය. බසයේ පිටපසු දොරටුව අසලින් රා සුවඳක් දැනුණු තරුණයා ටිකක් විපරම් කළේය. හරස් අතට වැටී තිබුණු රා ගැලූමේ මූඩිය තරුණයා බුරුල් කළේය. පැය ගණන් ඒ මේ අත කැලතෙමින් තිබූ රා ගැලූමේ මූඩිය තරමක ශබ්දයක් ද නගමින් බසය පුරා විසිරී ගියේය. 


ඉදිරිපස අසුනක නිදාසිටි රියදුරු හා සහායකයා ඒ සමග අවදි වී බලන විට බසයේ සිටි තරුණයා පැන දිව්වේය. 


අවමඟුල් උත්සවය අවසන් වී පිරිස බසයට එන විට සම්පූර්ණ බසයේම රා ගඳ පැතිරෙමින් තිබිණ. 


පිරිමි සියලූදෙනාටම බැන වදිමින් කාන්තා පාර්ශ්වය තරහෙන් පුපුරමින් ආපසු ආවාලූ.