(උණවටුන - ඩී.ජී. සුගතපාල)
මැදිවියේ කතක් වූ ඇය මසුරුය. දකුණු පළාතේ ප්‍රසිද්ධ නගරයක රජයේ කාර්යාලයක රැකියාව කළ ඇය කාර්යාලයට පැමිණියේ ඒ අසලම කුලියට ගත් කාමරයක සිටය. ඇගේ ගමට කාර්යාලයේ සිට කිලෝමීටර හැට හැත්තෑවකි. ඇයගේ තනතුර ගම් පළාතේ කාර්යාලවල නොතිබූ හෙයින් එම දුෂ්කරක්‍රියාව කිරීමට ඇයට සිදුවිය.
මසුරුකම නිසාම ඇය පුළුවන් තරම් සෙස්සන්ගෙන් වෙන්ව ජීවත් වූවාය. එම කාර්යාලයේ වැඩි පිරිසක් නොවූහ. තනිවම ජීවත්වීමට ඇය සිතුවේ සෙස්සන් සමග කුළුපඟ වුවහොත් කෑමට බීමට වියදම් කිරීමට සිදුවේයැයි සිතූ හෙයිනි. ඇය තේ බීවේ තනිවමය. කුඩා බිස්කට් පැකට්ටුවක් ගෙන ලාච්චුවට දමා දිනකට එකක් බැගින් ගෙන කෑවා මිස ඇය සෙස්සන් සමග එය බෙදා හදා නොගත්තාය. ඇයගේ මසුරුකම තදින්ම දන්නා හෙයින් සෙස්සන්ට ද එය අරුමයක් නොවීය.
නියමිත කාලයට පෙර විශ්‍රාම යෑමට ඇය සිතුවේ දරුවන්ගේ අධ්‍යාපන කටයුතු කළ යුතුව තිබූ හෙයිනි. විශ්‍රාම යාමට ඇය ඉල්ලීමක් කළාය. වසරක් එක හමාරක් ඇතුළතදී ඇයට විශ්‍රාම ලිපිය ලැබිණි.
“ඔයා අවුරුදු විසිහතක් තිස්සේ හිටපු රජයේ සේවයෙන් අද විශ්‍රාම යනවා. ආයේ එන්නේ නෑනේ. අඩුගානේ අයිස් ක්‍රීම් එකක්වත් ගේන්නකෝ...” සෙස්සෝ යෝජනා කළහ. ඒ එය ලැබේ යැයි අපේක්ෂාවෙන් නොවේ. එකතකින් ඇයට සරදම් කිරීමටය.
ලජ්ජාවෙන් ගැලවෙනු වස් ඇය අසල වෙළෙඳසැලකට ගොස් අයිස්ක්‍රීම් ලීටරයක් ගෙනාවාය. එදින හිටියේ තුන් හතර දෙනකු පමණි. එහෙයින් අයිස්ක්‍රීම් ලීටරයෙන් කාලක්වත් අඩු වූයේ නැත.
සවස 4.30 ට විතර සියලු ලියකියවිලි බාරදී ඇය තම බෑගය අතට ගත්තාය. විශ්‍රාම ලිපිය ලැබී දෙතුන් දිනක් ගතවී තිබූ බැවින් ඇය කාමරයද බාර දී තිබිණි. එහෙයින් එදිනම ඇයට ගමට යාමට සිදුවිය.
කාර්යාලයෙන් එළියට බැසීමට පෙර ඇය අයිස්ක්‍රීම් පෙට්ටිය ඔසොවා බැලුවාය. එහි කාලක්වත් අඩු වී නැති බව ඇයට දැණුනි. ෂොපින් මල්ලකට අයිස්ක්‍රීම් පෙට්ටිය දමාගත් ඇය බසයකට ගොඩ විය.
ගමනට දෙතුන් පැයකි. ඇය නින්දකට වැටිණි. එක්වරම ඇය අවදි වුණේ සීතල යමක් තම දෙකකුල් ඔස්සේ ගලා යනු දැනීමෙනි.
ඇය කලබල වී විපරම් කළාය.
“දෙයියෝ සාක්කි!” ඇයටම කියවිණි. ෂොපින් බෑගයේ අයිස්ක්‍රීම් හොද්දකි. පෙට්ටියේ මූඩිය ගැලවී ගොසිනි. දෙකකුල් ඔස්සේ ගලා ගොස් තිබුණේ දිය වූ අයිස්ක්‍රීම් ය.
වෙන කරන්නට දෙයක් නැත. බසයෙන් තවදුරටත් ගමන් කළ නොහැකිය. බසයෙන් බැස ඇය ඉතිරිය ත්‍රිරෝද රථයෙන් ගියේ තමන්ගේ මසුරුකම නිසා වෙච්ච අලාභය සම්බන්ධයෙන් තමන්ටම සාප කරමිනි.