(කරන්දෙණිය එම්. සුසිල් ප්‍රියන්ත)
තමාගේ එකම දරුවාගේ ගුණයහපත්කම ගැන නිතරම කටමැත දෙඩවූ කාන්තාවකගේ සැබෑ තත්ත්වය අතටම හසුවීමේ අපූරු පුවතක් දකුණේ කොනේ ගමකින් අසන්නට ලැබේ.
දුර සිටින නෑනා සිය පුතුන් දෙදෙනාට ගුණයහපත්කම හොඳටම ඉගැන්නුවාය. ඒ වගේම හොඳ අධ්‍යාපනයක්ද ලබා දුන්නාය. ඒ නිසාම ඇයගේ පුතුන් දෙදෙනාට හොඳ රැකියාවල්ද ලැබුණි. කොයි කවුරුත් ඔවුන් දෙදෙනා ගැන හොඳ කීහ.
මෙය ඇගේ නෑනාට වහකදුරු මෙනි. මේ නිසාම දුර සිටින නෑනා ඉඳහිට සිය නිවෙසට පැමිණි විට තමාගේ එකම පුතාගේ ගතිගුණත් මසුරන්වලටත් වඩා වටිනා බව නිතර නිතර පැවසුවාය.
ඔහුට ළඟදීම හොඳ රැකියාවක්ද ලැබෙන බවද කීවාය. සිය එකම පුත්‍රයාගේ ගතිගුණ හොඳ බව ක්‍රියාවෙන්ද ඔප්පු කිරීමට ඇය මහන්සි ගත්තාය. දුර සිටින නෑනා ඔවුන්ගේ නිවෙසින් පිටව යනවිට ඇයගේ දෙපා වැඳීමට ද එකම පුතාට පුරුදු කළාය. එදාට ඇය පුතාට කතා කළේ සුදු පුතා යයි අමතමිනි. පුතාද සිය මව ඇමතුවේ මගේ සුදු අම්මා යයි කියමිනි.
කාලය එසේ යද්දී දුර සිටින නෑනා මේ නොබෝ දිනක මෙම කාන්තාවගේ නිවසට පැමිණියේ නොදන්වාමය. ඒ අවශ්‍යතාවකට ළඟකට පැමිණීම හේතුවෙනි. ගේ ඇතුළේ මහා ගෝරියකි. සාලයේ තැන තැන විසිරුණු බත්ය. තවත් තැනක පිඟන් කටුය.
මට මේවත් සමග කන්න පුළුවන්ද බැල්ලියේ යයි ගේ ඇතුළෙන් මහ හඬින් කියනු ඇසිණි.
තමාගේ සොහොයුරා කවදාවත්ම සිය බිරිය සමග මොන දේකටවත් සණ්ඩු සරුවල් කරගත් කෙනෙකු නොවන නිසා මේ කවුදැයි දුර සිටින නෑනා විමසුම් ඇසින් බැලුවාය. ඒ මසුරන්වලටත් වඩා එහා ගිය ගතිගුණ ඇතැයි සිය නෑනා නිතර නිතර වර්ණා කළ පුතාගේ කටහඬය.
දුර සිටින නෑනා මේ කලබල අස්සේම ඔවුන්ගේ මුළුතැන්ගෙටම ගියාය. මුහුණ රතුවී තිබූ නෑනා එහි හඬමින් සිටියාය.
ඇය දුටු සැනින් ඇය මහා හයියෙන් හඬමින් කීවේ තමාගේ එකම පුතාට අද උයපු ජාතින් එක්ක බත් කන්න බැහැ කියමින් බත් පිඟාන පොළවේ ගැසූ බවත් මේ ගැන කතාවට ගිය තමාගේ මුහුණට අතුල් පහරවල් දෙකක් දුන් බවත්ය.
අනේ නෑනේ මූ ගැන හොඳ කියපු කට දැන් මට හිතෙනවා බිම උලාගන්න යැයි ඇය කීවිට දුර සිටින නෑනාට සිතුණේ මේ නෑනානේ පුතාගේ ගතිගුණ මසුරන්වලටත් වඩා එහා ගියා කියමින් ඇය පෙර දිනවල දෙසූ පුරසාරම් අද තමාගේ අතටම හසු නොවූයේ නම් තවමත් ඔහුගේ ගතිගුණ මසුරන්වලටත් වඩා එහා බවය.