(බෙන්තොට ජේ. ඉඳුරුවගේ)
වසර කීපයක් අරාබි රටක ගෘහ සේවිකාවක ලෙස සේවය කර නිවසට පැමිණි මව දුටු කුඩා දියණිය ගෝනි බිල්ලෙක් එනවා යැයි කියමින් හඬාගෙන ගොස් ඇඳ යට සැඟවී සිටියේ යැයි කියන සිද්ධියක් දකුණේ ගම්මානයකින් අසන්නට ලැබිණි.
දැරියට වසය අවුරුදු දෙකක පමණ වයසේ දී පවුලේ අග හිඟකම් මකා ගැනීමට මව රට ගිය පසු පියා වැඩිමහලූ දියණිය ද සමග වෙහෙස දරමින් කුඩා දියණිය රැකබලා ගත්තේය. වැඩිමහලූ දියණිය පාසල් ගිය විට කුඩා දියණිය නළවා නිදිකර තබා ගෙදර වැඩපල කිරීමට පියාට සිදුවිය. ඇතැම් අවස්ථාවල දී බත් කවන විටත් දඟ කරන විටත් ගෝනි බිල්ලන්, ඇතින්නියන් ගැන කියා දියණිය බිය ගැන්වීමට ද කටයුතු කළේය.
කුඩා දියණියට වසය අවුරුදු හතර පමණ වෙද්දී රට ගිය මව ස්වාමිපුරුෂයාට ද දන්වා දිවයිනට පැමිණ ගුවන් තොටුපොළේ සිට කුලී රියකින් නිවෙසට පැමිණියාය. ඇය පැමිණෙන තුරු පියාත් දියණියන් දෙදෙනාත් මග බලා සිටියහ. වරින් වර පියාගෙන් මව ගැන අසා තිබුණත් කුඩා දියණියට මව ගැන එතරම් මතකයක් නොවීය.
මුළු ඇඟම වැසෙන පරිදි ලිහිල් ගවුමකින් සැරසී සිටි මවගේ දෙතොල් රතු පැහැති ආලේපයෙන් වර්ණ කර තිබිණි. කන්වල එල්ලෙන ලොකු කරාබු විය. කොණ්ඩය ලිහා තිබිණි. ලොකු කළු අවු කණ්ණාඩියක් පැළඳ තිබුණි. අත් දෙකින් ලොකු ගමන් මලූ දෙකක් ද රැුගෙන නිවසේ ගේට්ටුව අසල දී කුලී රියෙන් බැස නිවෙසට එමින් සිටි ඇය ඉදිරියට පියා දියණියන් දෙදෙනා ද සමග ආහ.
පුතේ මෙන්න ඔයාගේ අම්මා යැයි පියා පවසනවාත් සමගම බොරු, බොරු මේ මගේ අම්මා නොවෙයි. බිල්ලෙක් තාත්තේ ගෝනි බිල්ලෙක්. කියමින් කුඩා දියණිය නිවෙස තුළට දිව්වාය.
පසුව සොයා බලද්දී නිවසේ ඇඳක් යට සැඟවී සිටි එම කුඩා දියණිය අස්වසා බිය නැති කර දැරිය මවට හුරුකර දුන්නේ පියාත් වැඩිමහලූ දියණියත් මහත් වෙහෙසක් ගැනීමෙන් පසුවය.

