රජයේ සේවිකාවක් සෙවූ මනාලයා දෑවැද්දත් බැඳලා


(බණ්ඩාරවෙල සුජීව චින්තක සෝමරත්න)
වයසින් වසර විසිහයක් වූ ඔහු කඩවසම් තරුණයෙකි. ඌව පළාතේ ප‍්‍රදේශයට ආසන්න සරුසාර ගම්මානයක ස්වයං රැකියාවක් කරමින් සිටි ඔහු සහකාරියක් වශයෙන් මනාලියක් සොයා ගැනීමට අදහස් කළේය. තම මිතුරන් සමග මනාලියන් කිහිප දෙනකුම සොයා ගියේය. එහෙත් ඔහු බලාපොරොත්තු වූ පරිදි සොයන මනාලිය රාජ්‍ය සේවිකාවක් නොවූ හෙයින් ඒ සියල්ල මග හැරිණි.


දිනක් මෙම තරුණයා කිතුල් හකුරු මුලක් සොයා ගැනීමට අසල ගම්මානයකට ගියේය. මනාලිය සොයා ගැනීමේ බලාපොරොත්තුවෙන් අසල නිවසකට ගොඩ වැදුණේය.


නිවෙස් හිමියාත් ඔහුගේ බිරියත්, එකම දියණියත් එක්ව ගෙවත්තෙන් ලබාගත් ගම්මිරිස් වගාව අව්වෙන් වේලමින් සිටි දුටු මෙම තරුණයා අවට ගස් දෙස හිස ඔසවා බැලීය. නිවෙස වටා තිබූ පුවක් ගස් දෙසීයක් පමණ ඉදුණු පුවක් වලූවලින් ගහනව තිබෙනු දුටු ඔහු විශ්මයට පත්විය. දළ වශයෙන් පුවක් අස්වැන්නේ වටිනාකම රුපියල් ලක්ෂ දෙක ඉක්මවා යයි.


අවට පරිසරයේ සියලූම ගස් වටා වේලී තිබුණු ගම්මිරිස් ඉදුණු ගෙඩිවලින් සමන්විත වී තිබුණි. ඔහු විසින් එහි අස්වැන්න සිතින් තක්සේරු කරනු ලදුව දළ වශයෙන් ලක්ෂ දහයකට තක්සේරු කළේය.


බිම වේලමින් තිබූ ගම්මිරිස් ප‍්‍රමාණය කිලෝ සීයය ඉක්මවා තිබුණි. වියළන ලද ගම්මිරිස් කිලෝව රුපියල් එක්දහස් දෙසීයක් පමණ වූ අතර ඉන් පමණක් රුපියල් ලක්ෂ දහයක් ඔවුනට ලබාගත හැකි බව මෙම තරුණයාට වැටහිණි.


තමා මනමාලියක වශයෙන් තෝරා ගැනීමට උත්සාහ කළේ රාජ්‍ය සේවයක නියුතු තරුණියකි. රාජ්‍ය සේවයක නියුතු තරුණියක් උපයා ගන්නා මුදලට වඩා ඇයගේ පියා සතු උපයන මුදල වැඩි බව තරුණයා සිතට ගති. හකුරු මුලක් ගෙනියන්නට පැමිණි මෙම තරුණයාට ඒ බව මතක නැති විය. ගෙහිමියා උපයනු ලබන මුදල සිතට ගත් ඔහු ‘මාමේ මං තකහනිියක් දුවගෙන ආවේ මාමගේ දුව බඳින්නයි. ආයි මොටද මේක කල් දාන්නේ? හෙටම කච්චේරියට ගිහින් මම මාමගේ දුව බඳින්න කැමතියි කියා මාමට පැවසීය. පසුදිනම විශේෂ අවසරයක් මත විවාහය සිදුවිණි.