යාළුකමට වැඩ පෙන්වන්න ගිහින් පොලිසියෙන් දඩකාලා


(මොරගොල්ලාගම සිසිර  කැලේගම)
හිතවත් කමට වැඩ පෙන්වීමට ගොස් යතුරු පැදිකරුට දඩ කෑමට සිදුවීමේ පුවතක් ඇතුගල්පුරවරයෙන් වාර්තා වේ.


සිද්ධිය මෙසේය. 


දඹුල්ල සිට කුරුණෑගල දෙසට යතුරු පැදිකරුවෙක් ගමන් කරමින් සිටියේය. 


ඔහු ඕමාරගොල්ල සීමාවේ වන රොද පෙදෙසේ යතුරු පැදිය නවතා තේ බීමට අවට වෙළඳ සැළකට පිය මැන්නේය.


එතැනදී ඔහුට ඔහුගේ තවත් යහළුවෙක් මුණ ගැසුණි. ඔහු කුරුණෑගල සිට  ගලේවෙල දෙසට කුඩා ලොරි රථයකින් ගමන් ගන්නා අයෙකි. දෙදෙනා තේ බී අවසන්ව දෙපසට යාමට පිටත් වූහ.  ලොරි රථයේ සිටි මිතුරා යතුරු පදිකරු අමතා කියා සිටියේ ඉදිරි වංගුවක අහවලා පොලිසිය හා එක්ව රථ වාහන රාජකාරියේ යෙදී සිටින බවය. 


එහි රථ වාහන රාජකාරියේ යෙදී සිටින සිය මිතුරා හමුවීම සඳහා ඔහු පමණට බදු වේගයෙන් යතුරු පැදියෙන් ගොස් තනි ඉර කපා ඉදිරියේ නතර කළේ සිය මිතුරා ඔහුට රාජකාරී කරන්නේ කෙසේද යන්න දැක ගැනීම උදෙසාය. 


ඔහු තනි ඉර කැපීම නිසා යතුරු පැදිය නවතා බහින්නටත් පෙර පොලිස් නිලධාරියකු එතැනට පැමිණියේ කරන ලද වරද කියා දීම සඳහාය. 


‘‘නැහැ මහත්තයා, මම ඒක හිතාමතාම කළේ. අහවලා මෙතැන රාජකාරි කරන නිසාය. එයා මගේ හිතවතෙක් යනුවෙන් යතුරු පැදිකරු විස්තරයක් කියාගෙන යාළුවා අසලට ගියේය. කවුද ඒ හිතවත් නිලධාරියා එහෙම කෙනෙක් මෙහි නැතැයි කීමෙන් යතුරු පැදිකරුට දෙලොව රත් වුණි. 


වහා කුඩා ලොරියේ යන හිතවතාගෙන් යහළුවා ගැන කරුණු විමසීය. මම හරියට ළඟටම දැක්කේ නැහැ. ඒ වාගේ හුරුවට තමයි ඈතට දැක්කේ. එයා නෙමෙයි ද? කියා ඔහුගේ පිළිතුරු ලැබුණි.


ඊට කිසිත් පිළිතුරු නොකියා සංවාදය විසන්ධි කළත් යතුරුපැදිකරුට ඉන් කිසිදු ගැලවීමක් නොමැති විය. 


හිතවත් කමට තනි ඉර කැපීම යනුවෙන් අලුත් වගන්තියක් මෙයට එක් කළ යුතු යැයි කියමින් දඩ කොළය පොලිස් නිලධාරියෙක් ඔහු අත තැබීය.