කරන්දෙණිය එම්. සුසිල් පියන්ත
තෙල් සොරකමෙන් යතුරු පැදිය තල්ලු කරන්නට සිදුවෙතැයි සිතා පාපැදියෙන් ගොස් පාපැදිය කරේ තබාගෙන එන්නට සිදුවූ අයකු පිළිබඳ කතාවක් අම්බලන්ගොඩින් අසන්නට ලැබේ.
එක්තරා දිනෙක සැන්දෑ කාලයේ නගරයට ගිය ඔහුට සිය යතුරුපැදිය තල්ලු කරගෙන ඒමට සිදුවූයේ එහි තෙල් ටික හොරකම් කර තිබූ නිසාය. එදා කාපු කට්ටේ තරම නිසාම ඔහු සිතා ගත්තේ නගරයට තනිගමන් සන්ධ්‍යාවේ යතුරු පැදියෙන් නොයන්නය. එයට විකල්පයක් සඳහා යතුරුපැදියෙන් පාපැදියට ඔහු මාරුවුණේය.
පාපැදියෙන් නගරයට ගිය ඔහු එහි පසුපස රෝදයට අගුලු දමා සිය අවශ්‍යතාව සඳහා ගියේය. අවශ්‍යතාව ඉටුකොට ගෙන සිය නිවෙස කරා යාමට අගුලු දමා නවතා තිබූ පාපැදිය වෙත ආවේය. එහි ඉදිරිපස රෝදය ගලවාගෙන ගොස් තිබෙනු දුටු ඔහුට දෙවියන් බුදුන් සිහිවූයේ කරුණු දෙකක් නිසාය. එකක් මෙය සිය නිවෙස දක්වා කිලෝමීටර් තුන හතරක් කර තබා ගෙන යාමට සිදුවීම හා ඉදිරිපස රෝදය දැමීමට මුදල් නැති කාලයේ එදා පාපැදියක්ම ගතහැකි මිලක්වූ රුපියල් දහපහළොස් දහසක් තනි රෝදයක් දැමීමට වැයවීම නිසාය.
ඉස්සරහ රෝදය නැතිව හති හල හලා පාපැදිය කරතබාගෙන එනු දුටු භාර්යාව සිද්ධිය ඇසූ පසු ඔහුට දෙස්දෙවොල් තිබ්බේ වතාවක් මට්ටු වුණ ඔහුගේ තවත් අඩුපාඩුවක් සපුරන අදහසිනි.